Feb 15, 2020

තිසරට යළි කණ්ඩායමේ දොරටු ඇරෙයි Featured

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඇතුළත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කර ඇති බව ශ්‍රී  ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

තිසර පෙරේරාට ජාතික සංචිතයක ස්ථානයක් හිමිව ඇත්තේ 2019 වසරේ ජූලි මාසයෙන් පසුව වීමද විශේෂත්වයකි.   

කෙසේ වෙතත් 22 වැනිදා ආරම්භ කිරීමට නියමිත ශ්‍රී  ලංකා - බටහිර ඉන්දීය කොදෙව් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන අවසාන 15 දෙනාගේ ශ්‍රී  ලංකා සංචිතය මෙම මස 17 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී  ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මෙම මස 22 වැනිදා දිවා තරගයක් ලෙසින් කොළඹ එස්.එස්.සී. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 26 වැනිදා දෙවැනි එක්දින ක්‍රිකට් තරගය දිවා-රාත්‍රි තරගයක් ලෙසින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම ක්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වන්නේ 2017 වර්ෂයේ ජූලි මාසයෙන් පසුව වීමද විශේෂත්වයකි. තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 1 වැනිදා දිවා-රාත්‍රි තරගයක් ලෙසින් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු 4 වැනිදාත් දෙවැනි තරගය 6 වැනිදාත් පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top