Feb 16, 2020

සිංහල අවුරුද්දට පෙර ආණ්ඩුව පැරදවීමේ විපක්ෂ සැලැසුමක් Featured

සිංහල අවුරුද්දට පෙර ආණ්ඩුවේ හිඟ බිල්පත් පියවීම සඳහා ලබන 20 වැනිදා රජය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ මුදල් ප්‍රතිපාදන යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමේ සැලසුමක් විපක්ෂය සාකච්ඡාවට ගෙන ඇතැයි වාර්තා වේ.

එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මන්ත්‍රීවරුන් සකච්ඡා කර ඇතැයි පැවසේ.

මුදල් ප්‍රතිපාදන යෝජනාව පරාජයට පත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත්තේ ආණ්ඩුව විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම, විපක්ෂයේ මන්ත්‍රීන්ට නඩු පවරා සිරගත කිරීමට තැත් කිරීම ඇතුළු කාරණා කිහිපයක් නිසාය.

එය පරාජයට පත් කිරීමට විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේද එකඟතාව හිමිව ඇති බව මේ අතර ශ්‍රි ලංකා මිරර් වෙත වාර්තා වේ.

හිඟ බිල්පත් පියවීම සඳහා රුපියල් බිලියන 367ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් ලෙස අදාළ යෝජනාව මැතිසබයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

රුපියල් බිලියන 367ක් ඉල්ලා සිටියද රජය සැබැවින්ම ලබාගැනීමට යන්නේ රුපියල් බිලියන 146කි.

මේ අතර භාණ්ඩාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ යෝජනාවේ සඳහන් බිලියන 221 දැනටමත් රජය ලබාගෙන ඇතිබවත්, එම මුදල ණය වාර්තාගත කිරීමක් පමණක් බවයි.

මෙකී මූල්‍ය ප්‍රතිපාදනය ලබා ගැනීමත් සමඟ ආණ්ඩුවට ණය ලබාගත හැකි රාජ්‍ය ණය සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් බිලියන 1088 දක්වා ඉහළ යනු ඇතැයි ද පැවසේ.

එජාප පක්ෂ නායක සමුළුවේදී රවී කරුණානායක මහතා මෙම ප්‍රතිපාදන සපයා ගැනීමේ යෝජනාව පරිපූරකයක් ලෙස ඉදිරිපත් කිරීමට නොහැකි බව ද පෙන්වාදී තිබිණි.

අතුරු සම්මත ගිණුමකින් රාජ්‍ය වියදම් සපයා ගන්නා අවස්ථාවේ පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කළ නොහැකි බවත් ඒ සඳහා විශේෂ යෝජනාවක් ගෙන ආ යුතු බවත් කරුණානායක මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

නීතිපතිවරයාද එම අදහස අනුමත කර තිබිණි.

එම නිසා පරිපූරකය වෙනුවට දැනට ක්‍රියාත්මක අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ලෙස නව ප්‍රතිපාදන සපයා ගැනීමේ යෝජනාව ඉදිරිපත් කිරීම රජයේ සැලසුම වී ඇති බවද රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top