Feb 16, 2020

සජිත්ගේ හදවත මැකෝ ළඟ ගොළු වෙයි Featured

නව සන්ධානය සඳහා 'හදවත' ලකුණ ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා ඇතහ් 'හදවත' ලකුණ කිස්දු පක්ෂයක් වෙනුවෙන් ලබා නොදෙන බව මැතිවරණ කොමිසන් සභාව විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනැගීමට නියමිත පොදු සන්ධානය, සමගි ජන බලවේගය පක්ෂය යොදා ගෙන එහි සලකුණ ලෙස 'හදවත' යොහා ගැනීමට ගත් උත්සාහය මේ අනුව ව්‍යර්ථව ඇතැයි පැවසේ.

එයට එක් හේතුවක් නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී නිල නාම යෝජනා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කිරීමයි.

එසේ ඉදිරිපත් වන සන්ධාන්යේ ලකුණ අලියා විය යුතු බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කණ්ඩායම යෝජනා කළද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සුළුතර කණ්ඩායම පවසා ඇත්තේ පොදු ලකුණක් යොදා ගෙන තරග කළ යුතු බවයි. මේ පිළිබඳව අවසාන තීරණයකට නො එළැඹී කෘත්‍යාධිකරී මණ්ඩල රැස්වීම අවසන් වී ඇත.

ඉතිහාසය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය ඡන්දවලට ඉල්ලා තිබුණේ තම පක්ෂයේ නමින් සහ 'අලියා' ලකුණෙනි.

වෙනත් පක්ෂ සහ කණ්ඩායම් සමග සන්ධානගතව 'එක්සත් ජාතික පෙරමුණ' ලෙස කටයුතු කළ අවස්ථාවලදී පවා සන්ධානයේ නම එක්සත් ජාතික පෙරමුන වුවත්, ඡන්දයට තරග කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්ගේ අත්සනින් සහ අලියා ලකුණෙනි.

මේ තත්ත්වය වෙනස් වූයේ ජනාධිපතිවරණයන් හිදී පමණක් වන අතර එහිදී සන්ධානය තරග කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණ යොදා ගනිමිනි.

මාර්තු පළමුවැනිදායින් පසුව තමා කැමැති අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබේ.

ඒ අනුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හොත් සති දෙකක් ඇතුළත නාම යෝජනා කැඳවනු ඇත. සියල්ල සඳහා ඇත්තේ ඉතා කෙටි කාලයකි. 'හදවත' නොලැබෙන බැවින් දැන් තරග කළ යුත්තේ එක්කෝ හංසයා ගෙනි; නැත්නම් 'අලියා' ගෙනි.

මේ දිනවල සාකච්ඡාව ඒ ගැනය. එහෙත්, හංසයා ලකුණ යොදා ගන්නේ නම් පළමුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශාමිලා පෙරේරා තමන් විසින් හංසයා' ලකුණ අත හරින බව මැතිවරණ කොමිසමට දැන්විය යුතුය.

ඉන් පසුව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් තම පක්ෂය 'අලියා' ලකුණ අත හරින බවත්, ඒ වෙනුවට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් මුදා හරින ලදුව මැතිවරණ කොමිසමේ 'සංචිතයේ සිටින 'හංසයා' ලබා දෙන ලෙසත් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිය යුතුය.

එසේ වන්නේ ලකුණ කුමක් වුවත් පත්වන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පත් විය යුතු බවට යෝජිත සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කොට ඇති හෙයිනි.

නමුත්, එක්සත් ජාතික පක්ෂය් ඒ ආකාරයට 'හංසයා' ලබා ගත හොත්, චිරාත් කාලයක් පක්ෂය නියෝජනය කළ ලකුණ වූ 'අලියා' එක්සත් ජාතික පක්ෂයට සදාකාලිකවම අහිමි වීමේ අවදානමක් මතුවන බවද මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියා සිටී.

'අලියා' මුදා හැර 'හංසයා' ගැනීමෙන් 'අලියා' ඉබේම වාගේ සංචිතයට වැටෙන බැවින් එවිට වෙනත් ඕනෑම පක්ෂයකට තමන්ට 'අලියා' ලබා දෙන ලෙස ඉල්ලා සිටිය හැකි බවද මේ අතර වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top