Feb 17, 2020

ශ්‍රී ලන්කන් අක්‍රමිකතා පිළිබඳ වාර්තාව කෝප් කමිටුවට ! Featured

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, සීමාසහිත ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා ආයතනවල සිදුවී ඇතැයි පැවසුන වංචා දූෂණ හා රාජ්‍ය සම්පත් අවභාවිතය සොයා බැලීම සඳහා හිටපු ජනපති පත්කල විශේෂ කොමිසමේ වාර්තාව  'කෝප්' කමිටුවට ඉදිරිපත් කරන්නැයි එම කමිටුවේ සාමාජිකයකු කතානායකවරයා ගෙන් ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

ශ්‍රී ලංකන් එයාර්ලයින්, සීමා සහිත ශ්‍රී ලංකන් කේටරින් සහ සීමා සහිත මිහින් ලංකා සමාගම්වල 2006 ජනවාරි මස 06 වන දින සිට 2018 ජනවාරි 31 දක්වා වූ කාලය තුළ සිදුවුවා යැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන හා පරීක්ෂා කර වාර්තා කිරීම මෙම ජනාධිපති කොමිසමට පවරා තිබු කාර්ය භාරය විය.

හිටපු ජනාධිපතිවරයා විසින් එම ජනපති කොමිසමේ විමර්ශන සඳහා අවශ්‍ය නෛතික උපදෙස් ලබා දීම සඳහා විශේෂ නීතිඥ කණ්ඩායමක් 2018 මාර්තු මාසයේදී පත් කළේය. එම කමිටුවට සාමාජිකයින් 8 දෙනෙකු ඇතුළත් වූ අතර අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව එහි ප්‍රධානියා ලෙස නම් කර තිබිණ.

ජනාධිපති කොමිසම සිදුකළ විමර්ශනයට අදාළ වාර්තාව මේවනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දී ඇතත් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

පාර්ලිමේන්තු 'කෝප්' කමිටුව අනිද්දා (19) රැස්වීමට නියමිතව ඇති අතර එහිදී අදාල ජනාධිපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top