Feb 19, 2020

දැවැන්තම සන්ධානයේ මෛත්‍රීට දුන් තනතුරේ බලයක් නෑලු Featured

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන නව සන්ධානය ලබා දී ඇති තනතුරෙහි කිසිදු බලයක් නොමැති බව රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි.

සිරිසේන මහතාට ලබාදී ඇති සභාපතිධුරය කිසිදු බලයක් නැති බවත් එය නිකම්ම නිකන් අනුශාසක තනතුරක් වැනි එකක් බවද ඔහු සඳහන් කරයි.

සන්ධානයේ නායක ධුරයේ මහින්ද රාජපක්ෂ මහතා සිටිනවා යනු නැවත වතාවක් කුමන්ත්‍රණ කාරයන්ට ගේම් ගසන්නට ඉඩ නැති බවද ඇමතිවරයා කීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී මෙම සන්ධානය අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බව තම අදහස යැයිද ඒ මහතා පවසයි.

දැවැන්තම සන්ධානය අපි ගොඩනැඟුවා - දයාසිරි

ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා මෙරට ඉතිහාසයේ බිහිකළ දැවැන්තම හා ප්‍රබලම සන්ධානය වන 'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' බිහිකිරීමට හැකිවීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙහෙවින් සතුටට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

මේ සන්ධානය හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක්, හිටපු ඇමැතිවරයෙක් හා වර්තමාන ජනාධිපතිවරයාගේ ආශීර්වාදය සහිත සන්ධානයක් වීම විශේෂත්වයක් බවද ඒ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මීළඟ මහමැතිවරණයට තරග කරන්න අපි මේ රටේ මෙතෙක් හැදූ දැවැන්තම සන්ධානය ගොඩනැඟීමට කටයුතු කළා. එම සන්ධානයේ නායක ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාත් කටයුතු කරනවා. ඒ වගේම, උප සභාපති ලෙස මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාත්, ජාතික සංවිධාකයන් ලෙස මමත්, විමල් වීරවංශ මහතාත් කටයුතු කරනවා. නියෝජ්‍ය ලේකම් ලෙස මහින්ද අමරවීර මහතා කටයුතු කරනවා. මේ එකමුතුව වෙනුවෙන් පක්ෂ 10කට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් එකතුවී තිබෙනවා."

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top