Feb 19, 2020

පාතාල කෙරුමන්ට සොරි වෙයි, STF යටතේ බන්ධනාගාරයක් ! Featured

පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ ප්‍රබල ඝණයේ අපරාධකරුවන් රැඳවීම සඳහා නව බන්ධනාගාර පරිශ‍්‍රයක් ඇති කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බව ආරක්ෂක අමාත්‍යංශය ආරංචි මාර්ග වාර්තා කරයි.

වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක රඳවා සිටින ප්‍රබල ඝණයේ අපරාධකරුවන් 130 දෙනෙකු රැඳවීම එහි අරමුණ බවද පැවසේ.

ඒ අනුව ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න සහ තවත් උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඒ සඳහා සුදුසු ස්ථානයක් නිරීක්‍ෂණය කළ බව වාර්තා වේ.

ඔවුන් පළමුව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ඒ සඳහා යෝග්‍ය දැයි නිරීක්‍ෂණය කර ඇති අතර එම අපරාධකරුවන් රැඳවීමට එම බන්ධනාගාර යෝග්‍ය නොවන බවට ඔවුන් පසුව නිගමනයකට පැමිණ තිබේ.

ඉන්පසු එම පිරිස බූස්ස බන්ධනාගාරයේ නිරීක්‍ෂණයකට එක්ව ඇති අතර එහිදී තීරණය කර ඇත්තේ ප‍්‍රබල ඝණයේ අපරාධකරුවන් 130 දෙනා එහි රඳවා තැබීමටය. දැනට එම බන්ධනාගාරයේ ප්‍රබල ඝණයේ අපරාධකරුවන් 22 දෙදෙනකු රඳවා සිටියි.

ඒ අතර වෙලේසුදා, කංජිපානි ඉම්රාන් සහ පොට්ට නවුෆර් රඳවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

කොළඹ රඳවා සිටින ප්‍රබල ඝණයේ අපරාධකරුවන් රඳවා තැබීමට යෝග්‍ය සිරමැදිරි 150 ක් බූස්ස බන්ධනාගාරයේ පවතින බවද අනාවරණය විය.එහි අලූත්වැඩියා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව කඩිනමින් කොළඹ රඳවා සිටින අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරය වෙත යැවීමටයි තීරණය වී ඇති බවද ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top