Feb 20, 2020

දයාගේ පුතා බෝට්ටු පද්දන්න ගිහින් වරායට කෝටි ගණනක පාඩුවක් Featured

ත්‍රිකුණාමලය වරායට පිවිසෙන නෞකාවලට මග පෙන්වීම සදහා නියෝජ්‍ය වරාය යාත්‍රාපති (Deputy Harbour Master) පරිහරණය සදහා තිබු නියමු යාත්‍රාව (Pilot Boat) යාත්‍රා පදවන්නා නොමැතිව වෙනත් අයෙකු රැගෙන ගොස් අනතුරකට ලක් කිරීමෙ සිද්ධියක් ත්‍රිකුණාමලය වරාය අධිකාරියේ වෘත්තිය සමිති විසින් අනාවරණය කර තිබේ.

වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික යුද හමුදාපති, ජෙනරාල් දයා රත්නායක මහතාගේ පුතෙකු රැගෙන ත්‍රිකුණාමලය වරාය වටා සංචාරක නිරත වෙද්දි මෙම යාත්‍රාව ගල් පරයක වැදිමෙන් මෙම හානිය සිදුව ඇතැයි පැවසේ.

සිද්ධිය මේවන විට යට ගැසීමට උත්සාහ කරන බවට ද අදාළ වෘත්ති යෝජනා කරති.

අධි තාක්ෂණික මෙවලම් වලින් යුත් මෙම යාත්‍රාවේ වටිනාකම පමණක් කෝටි 16ක් බව පැවසෙන අතර මෙය ජපන් රජයෙන් ලැබුණු පරිත්‍යාගයකි.

මෙවැනි අධි තාක්ෂණික මෙවලම් සහිත ලංකාවට ඇති එකම යාත්‍රාව මෙය වන බව වෘත්තිය සමිති පෙන්වා දෙයි.

“ ට්‍රින්කෝ - 1(Trinco - 1) යනුවෙන් නම් කර ඇති මෙම යාත්‍රාවේ අනතුර සිදුවන අවස්ථාවේ වරායේ ඉහල නිලධාරින් කිහිපදෙනෙකු සිට ඇතැයි වාර්තා වේ.

ත්‍රිකුණාමල වරායේ නියෝජ්‍ය වරාය යාත්‍රාපති ඒ.එම්.එස්.ටි.අරම්පත් මහතා මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කියා සිටියේ මේ අනතුර සම්බන්ධයෙන් කිසිදු යට ගැසිමක් සිදු ව නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ආයතනික විමර්ශණයක් පවත්වා එහි ප්‍රතිඵල කොළඹ පිහිටි වරාය මුලස්ථානයට ලබා දී ඇතිබවත්, වැඩිදුර යමක් අවශ්‍ය නම් මුලස්ථානයෙන් ලබාගත හැකි බවත් ඔහු කීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top