Feb 04, 2017

'66ට හාල් නෑ - ඇමති රටම මුලා කරලා'

සහල් සදහා පාලන මිලක් නියම නොකර තිබියදී වාණිජ හා කර්මාන්ත ඇමතිවරයා පාරිභෝගිකයා මුලා කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සහල් සදහා පාලන මිලක් නියම කර ඇති බවත් රු. 66 ට වඩා කැකුලු සහ නාඩු සහල් අලෙවි නොකරන ව්‍යාපාරිකයින් නීතිය ඉදිරියට ගෙන ඒමට පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන් බව වාණිජ හා කර්මාන්ත ඇමතිවරයා පැවසීම කිසිදු පදනමක් නැති ප්‍රකාශයක් වන අතර එසේ කිරීම සදහා කිසිදු නීතිමය පදනමක් නොමැත.

එසේ පාලන මිලක් ඇති කිරීමට නම් 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පන‍තේ 20 (4) වගන්තිය යටතේ ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුය.

අදාල ගැසට් පත්‍රය නිකුත් නොකර ජීවන වියදම් කමිටුව ගත් තීරණය පිළිබදව විටින් විට ප්‍රකාශ කිරීම තුළින් පාරිභෝගිකයා නොමග යන අතර වෙළෙන්දන් හා පාරිභෝගිකයා අතර ගැටුමක් නිර්මාණය කරයි.

ඇමතිවරයාගේ ප්‍රකාශ මගින් මෙරට පාරිභෝගිකයාගේ කුස නොපිරෙන බැවින් වහාම සහල් සදහා පාලන මිලක් නියම කරන ලෙසත් එම පාලන මිල ක්‍රියාත්මක කිරිම සදහා අබල දුබල නොවන සභාපතිවරයෙක් පාරිභෝගික අධිකාරියට පත් කරන ලෙසත් අප රජයෙන් ඉල්ලා සිටිමු.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top