Feb 21, 2020

ශ්‍රී ලංකන් එයාර් බස් මගඩිය ගැන නීතිපතිට වාර්තාවක්

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණය වූ කරුණු මත වාර්තාවක් සකස් කර නීතිපතිවරයා වෙත යොමු කිරීමට කෝප් සභාපතිවරයා ඇතුළු කමිටුව තීරණය කර තිබේ.

ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්‍යනයකින් හා විශ්ලේෂණයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු නොකිරීම හා ගුවන්යානා ගිවිසුම අවසන් කිරීම සම්බන්ධයෙන් නිසි උපදේශන හා ක්‍රියාමාර්ග නොගැනීම යනාදී කරුණු පිළිබඳව අද විශේෂ අවධානයක් යොමු වී තිබේ.

මෙහිදී සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ගුවන් යානා අත්පත් කර ගැනීමේ ගිවිසුම අවසන් කිරීම සඳහා වූ නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් මුළු වන්දි මුදල ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 115.77 ගෙවීමට සිදු වීම සම්බන්ධයෙන් කමිටුව සිය අප්‍රසාදය පළ කර තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ගුවන් සමාගමට ලැබී තිබු ඇමරිකානු ඩොලර් මිලියන 375න් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ණය පියවීම සඳහා ඩොලර් මිලියන 355.5ක් භාණ්ඩාගාර අනුමැතිය යටතේ භාවිත කොට ඇති බවද මෙහිදීදී අනාවරණය ඇත.

අධ්‍යක්ෂක මණ්ඩලයේ යම් යම් වෙනස් වීම් සිදු වුවද මෙවන් අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ඒ අදාළ නිලධාරීන්ට බැහැරව කටයුතු කළ නොහැකි බව කමිටුව මෙහිදී අවධාරණය කල අතර මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් විගණකාධිපති වරයාහට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top