Feb 21, 2020

කොරියාවේ කොරෝනා අවදානම ඉහළට - ලාංකිකයින් ගැන විමසිල්ලෙන්

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය පවසයි.

දෛනිකව වාර්තාවන නව කොරෝනා වෛරස ආසාදිතයින් දකුණු කොරියාවේ සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින අතර ඊයේ දිනයේ පමණක් නව ආසාදිතයින් 52 දෙනෙකු හදුනාගෙන ඇති බවයි එරට බලධාරීන් පැවසීය.

මේ වනවිට එරටින් ආසාදිතයින් 156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ (20) දිනයේ කොරෝනා ආසාදිත පළමු මරණය ද වාර්තා වී තිබුණි.

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සැලකිය යුතු මට්ටමින් ඉහළ යාම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද දකුණු කොරියානු රජය පියවර ගනිමින් සිටින අතර වෛරස ව්‍යාප්තියේ වැඩි අවදානමක් පවතින එරට ඩේගු සහ චිඔන්ග්ඩෝ නගර විශේෂිත ප්‍රදේශ ලෙස නම් කිරීමටද දකුණු කොරියානු බළධාරීන් පියවර ගෙන තිබේ.

මේ වනවිට රැකියා සඳහා මෙන්ම සංචාරයන් සඳහා පැමිණි 25,000ක පමණ ශ්‍රි ලාංකිකයින් පිරිසක් දකුණු කොරියාවේ රැඳී සිටියි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top