Feb 21, 2020

ට්‍රම්ප් අතින් විවෘත වෙන ලොව ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙන්න! (වීඩියෝ)

ඩොලර් මිලියන 100ක ඇස්තමේන්තුගත වියදමකින් ඉන්දියාවේ අහමදාබාද්හි හි ඉදිවුනු මොටෙරා ක්‍රීඩාංගණය ලබන සඳුදා දින (24) සිට ඉන්දියාවේ සංචාරයක නිරත වන ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතින් විවෘත වීමට නියමිතය.

ප්‍රේක්ෂකයන් 100,000කට එකවර අසුන් ගත හැකි වන ලෙස නිමවා ඇති මෙම ක්‍රීඩාංගනය, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයද අභිබවා යමින් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස ඉතිහාස පොත් අලුත් කරනු ඇත.

ක්‍රිකට් වලට අමතරව, මෙම ක්‍රීඩාංගනය පාපන්දු, බොක්සිං, පැසිපන්දු, හොකී, ස්කොෂ්, බැඩ්මින්ටන්, බිලියඩ්, පිහිනුම් හා ලෝන් ටෙනිස් වැනි ක්‍රීඩා සඳහාද භාවිතා කෙරෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වල දැක්වේ.

නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ක්‍රීඩාංගනය තුළ ක්‍රීඩාගාර 4ක්, වෙනම කණ්ඩායම් රැස්වීම් කාමර, පුහුණු ක්‍රීඩාංගණ තුනක්, ගෘහස්ථ ක්‍රිකට් ඇකඩමියක් සහ ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයක් ද ඇත. ක්‍රීඩාංගන රථගාල තුළ කාර් 4,000 ක් සහ යතුරුපැදි 10,000 ක් නැවැත්විය හැකි බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙහි LED විදුලි පහන් තිබීමයි. පළමු වරට ක්‍රීඩාංගනයක LED විදුලි පහන් දැල්වෙන අවස්ථාව මෙය බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

තවද, පොදු ප්‍රවාහනය පවා භාවිතා කරන්නන්ට වඩාත් පහසු වන ලෙස මෙම ක්‍රීඩාංගනය මෙට්‍රෝ දුම්රිය ස්ථානයකට ආසන්නව පිහිටා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top