Feb 23, 2020

ගුවන් විදුලි මහගෙදරදී කරඬුව බිම වැටිලා ! Featured

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පෙරේදා (21) පවත්වන ලද සර්ව රාත්‍රික පිරිත් සජ්ඡායනය වාලුකාරාමයෙන් වැඩම්මවූ දන්ත ධාතූන් වහන්සේ බිම වැටී හානි සිදුව ඇතැයි වාර්තා වේ.

එම ආයතනයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති සුරවීර මහතා විසින් දන්ත ධාතූන් වහන්සේ පිරිතට වැඩැම්මවීමට ගොස් මේ සිද්ධිය සිදුව ඇතැයි පැවසේ.

ගුවන් විදුලියේ සේවකයන් ශ්‍රී ලංකා මිරර් සමඟ අදහස් දක්වමින් කියා සිටියේ මෙය ඉතා අසුබ සිද්ධියක් බවයි. ගුවන් විදුලියේ මහ ගෙදරවන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුළ මේ සිදුවීම සිද්ධවීම එම ආයතනයට මෙන්ම රටට ද වස් වදින්නක් බව ඔවුන්ගේ මතය වී තිබේ.

පෙර රජදවස දන්ත ධාතූන්ට හානි වූ විට රජවරු දින හතක කාලයක් සිය ඔටුන්න නොපැළඳ වූ බව පත පොතේ සඳහන් වන බව ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මේ අතර, අප සමඟ පැවසීය.

‘කොවිඩ් -19’ වෛරසය හේතුවෙන් චීනය ඇතුළු ලෝක වාසීන්ට හා ශ්‍රී ලංකා වාසීන්ට සෙත් පැතීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙම පිරිත් සජ්ඡායනය සංවිධානය කර තිබිණි.

කෙසේවුවද, මේ සඳහා ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන්ද සහභාගිව ඇත්තේ 47 ක් වැනි සුළු පිරිසක් බව පැවසේ.

එසේම, පිරිත් දේශනය අවසන්ව පිරිත් මණ්ඩපය වරු තුනක් යන තෙක් අදාළ ස්ථානයෙන් ඉවත් කිරීම සිදු නොකරතත්, මේ පිරිත් දේශනය අවසන් වූ වහාම එය ගලවා දමා ඇතැයි පැවසේ.

අදාළ පිරිත් මණ්ඩපය එහි සවිකර ඇත්තේ යුද හමුදාව විසින් බවද වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top