Feb 24, 2020

නොරොච්චෝලේ යළි නවතියි, 69 කෝටියක අලුත්වැඩියාව අසාර්ථකයි Featured

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය රුපියල් කෝටි 69ක් ගෙවා මාස තුනක පමණ කාලයක් තිස්සේ අලුත්වැඩියා කළද යළි ආරම්භ කොට දින 10කින් එය නැවත ක්‍රියා විරහිත වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග වාර්තා කරයි.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ පළමු අදියරේ මෙගාවොට් 300 ක විදුලි ජනන යන්ත්‍රය ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ සිට නතර කර මාස තුනක් තිස්සේ අලුත්වැඩියා කළ අතර මෙම මස 04 වැනි දින යළි ක්‍රියාත්මක කෙරිණි.

එහෙත් එම බලාගාරය මෙම මස 14 වැනි දින නැවත ක්‍රියාවිරහිත වී තිබේ.

මෙම අලුත්වැඩියාව සිදු කර ඇත්තේ චීන සමාගමකින් වන අතර ඒ සඳහා විදුලිබල මණ්ඩලය විසින් ඩොලර් මිලියන 3.8 ක මුදලක් ඔවුනට ගෙවා ඇති බවද පැවසේ.

ජල විදුලිබලාගාර වලට බර අදින්න වෙයි

යන්ත‍්‍රය ක‍්‍රියා විරහිත වීම නිසා එම ප‍්‍රමාණයද විදුලිය ජනනය කිරීමට ජල විදුලිබලාගාර වලට සිදුව තිබේ.

පවතින වියලි කාලගුණය හේතුවෙන් ප්‍රධාන විදුලි බලාගාර ජල මට්ටම සීග්‍රයෙන් පහත වැටෙමින් ඇති බවද ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

මහජන හා ලංකා බැංකුවලින් කෝටි 1500ක්

ලංකා විදුලිබල මණ්ඩලය මුහුණදී තිබෙන දැඩි මූල්‍ය අර්බුද හේතුවෙන් රුපියල් කෝටි 1500 ක ණය මුදලක් ලබාදීමට රජය විසින් තීරණය කර ඇත.

ඒ අනුව මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1000ක් සහ ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 500ක් ලෙස මෙම ණය මුදල අනුමත කර ඇත.

විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට ඇති සම්පූර්ණ ණය මුදල රුපියල් කෝටි 12,571කි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top