Feb 24, 2020

සන්ධාන සාකච්ඡා නෑ, මේක හකීම්ගේ උප්පරවැට්ටියක් - ජවිපෙ

ඉදිරි මහ මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය සමඟ සන්ධානගත වීමට තම පක්ෂයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙය මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්ගේ උප්පරවැට්ටියක් බවය.

සන්ධානගතවීම සම්බන්ධයෙන් කිසිදු සත්‍යතාවක් නොමැති අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ගේ අදහසක් පමණක් බව හා දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමඟ සන්ධානයක් ලෙස තරග වැදීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා මහනුවරදී ඊයේ (24) ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඉදිරි මහ මැතිවරණයේදී සන්ධාන ගතවීම සම්බන්ධයෙන් සාකච්ජා කරන බවය.

හකීම්ට මුස්ලිම් ජනයාට කළ හැක්කේ මොකද්ද - නලින්ද  

තමා දන්නා පරිදි රවුෆ් හකීම් මහතා සැමදා ආණ්ඩුවල සිටි බවත් පැවසු ඒ මහතා, ඔහුට මුස්ලිම් ජනතාව වෙනුවෙන් කළ හැකි වුයේ කුමක් දැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අඩුම තරමින් තමන්ට ඡන්දය ලබා දුන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට පවා හකීම් මහතාට නොහැකි වු බවත් නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.

එහෙම තත්ත්වයක් තුළ මෙවැනි බොරු කටකථා ගොතමින් ඔහු ක්‍රියාකරන බවත් පැවසු ජයතිස්ස මහතා, ජාතික ජන බලවේගය මේ වන විට මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ගැන කථා කරන්න මැදිහත් වී ඇතැයි ද කියා සිටියේය.

ඒ නිසාවෙන් මුස්ලිම් ජනතාවගේ ආකර්ශනය ඉවසා ගත නොහැකිව මෙවැනි උපායන් යොදන බවත්, ඔහුට මුස්ලිම් නායකයෙක් ලෙස ඔවුන්ව ආමන්ත්‍රණය කිරීමට නොහැකි විට මෙලෙස ජනතා විමුක්ති පෙරමුණ ඇදැ ගෙන ඇතැයි ද පැවසු නලින්ද ජයතිස්ස මහතා, කිසි දිනක තම පක්ෂය ජාතිවාදය දේශපාලනයට යොදා නොගන්නා බවත් පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top