Feb 25, 2020

නොරොච්චෝලේ කේස් එකට ජනපති මැදිහත් වෙයි Featured

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වරින් වර කැඩෙන්නට හේතුව සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

පවතින දැඩි නියඟයට මුවාවී පෞද්ගලික ඩීසල් බලාගාර හිමියන්ගෙන් වැඩි මිල ගණන්වලට විදුලිය මිලදී ගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය අක්‍රිය කරන්නේද යන සැකය නිසා මෙම පියවර ගැනීමට නියමිතය.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300ක් ජනනය වන එක් යන්ත්‍රයක් මාස තුනක් තිස්සේ අලුත්වැඩියා කර ඉකුත් මස යළි විදුලි උත්පාදන කටයුතු ආරම්භ කළද දින 10ක් තුළ යළිත් එය කැඩී යෑම සැකයට තුඩු දෙන කාරණයක් යැයි ලංවිම ඇතැම් ඉන්ජිනේරුවන් හෙළි කර ඇත. රුපියල් කෝටි 69ක් මේ නිසා දැනටමත් පාඩු වී තිබෙන අතර වරින්වර නොරොච්චෝල බලාගාරය කැඩී යෑම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ පරීක්ෂණ කණ්ඩායම පත් කිරීමට තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24දා) පැවැති පුවත්පත් සාකච්ඡාවක් අතරතුර ඇමැති බන්දුල ගුණවර්ධන මහතාද කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳ සෙවීමට විශේෂ කණ්ඩායමක් පත් කරනු ඇති බවයි.

ඉකුත් රජය විසින් 2020 වසරට අදාළව සම්මත කරගෙන තිබූ අතුරු සම්මත ගිණුමට ඉකුත් බ්‍රහස්පතින්දා (20දා) සංශෝධන ගෙන ඒමට එජාපය ඉඩ නොදීම නිසා කොන්ත්‍රාත්කරුවන්ට, ඉදිකිරීම් සමාගම්වලට ගෙවීමට නියමිත මුදල් නොමැති බවද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා එහිදී කියා සිටියේය.

සබැඳි පුවත්

නොරොච්චෝලේ යළි නවතියි, 69 කෝටියක අලුත්වැඩියාව අසාර්ථකයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top