Feb 26, 2020

රාජිත ගෙනා සුදු වෑන් කිඹුල්ලු මංකොල්ලයකට අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කළ බව කියන ආන්දෝලනාත්මක සුදු වෑන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සම්බන්ධ වූ අපරාධකරුවන් දෙදෙනා මීට දින කිහිපයකට උඩදී ගම්පහ ප‍්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයකට කඩා වැදී රුපියල් හතළිස් හය ලක්‍ෂයක මුදල් දේපළ කොල්ලකෑ සිද්ධියේ සුල මුල හෙළිකරගත් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය එම අපරාධකරුවන් දෙදෙනා ඇතුළු හත්දෙනකු අවි ආයුධයත් සමග ඊයේ (25) වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කොල්ලකෑම මෙහෙයවා ඇත්තේ සුදු වෑන් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට සහභාගි කරගෙන සිටි අපරාධකරුවන් දෙදෙනා විසින් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

කොල්ලකෑම සඳහා යොදාගත් ටී - 56 ගිනි අවියක් සහ ව්‍යාජ ගිනිඅවි කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

කොල්ලකන ලද රුපියල් හතළිස් හය ලක්‍ෂයෙන් රුපියල් හත් ලක්‍ෂය බැගින් මුදල් සුදු වෑන් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට පැමිණ සිටි අපරාධකරුවන් දෙදෙනා විසින් ලබාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.

මෙම ආයුර්වේද මධ්‍යස්ථානයේ හිමිකරුවන් විහාරස්ථානයක ඉදිකිරීම් සඳහා පූජා කිරීමට සූදානම් කරගෙන සිටි රුපියල් විසිපන් ලක්‍ෂයක මුදල් මෙම පිරිස කොල්ලකාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top