Feb 27, 2020

සජින් වාස් 12දා තෙක් රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (27) නියෝග කළේය.

ඒ විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපැම් කරන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවය.
මේ හේතුවෙන් විත්තිකරු ඇප මත සිටියහොත් ඒ මගින් සාක්ෂි විභාගයට බලපෑමක් සිදුවිය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද රජයේ නීතීඥවරයා අද ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාව ලබන 12 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ වසර 5ක කාලය තුළ රුපියල් කෝටි 30කට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වැරදි සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top