Mar 12, 2020

"කැරොකේ වසන්ත" කාමර 25ක් ඇති හෝටලය නිරෝධායනයට දෙයි

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් කැරොකේ වසන්ත ලෙස ප්‍රසිද්ධ සන්හිල් ආයතනයේ අධිකපති කටුනායක පිහිටි සිය කාමර 25කින් සමන්විත අංගසම්පූර්ණ හෝටලය මාස තුනක කාලයක් සඳහා නොමිලේ ලබාදීමට කැමැත්ත පලකර තිබේ.

ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේබව ප්‍රකාශ කර ඇත.

හිල්ටන් හෝටලය රට විරුවන්ට දෙන්න - සජිත්

මේ අතර රටට විදේශ විනිමය ගෙනෙනා රට විරුවන්ට හිල්ටන් හෝටලය හිස්කර හෝ පහසුකම් ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේබව පැවසීය.පිටරට සේවය කරන විදෙස් ශ්‍රීලාංකිකයන්ට මීට වඩා හොදින් සැලකිය යුතු බව සඳහන් කළ විපක්ෂ නායකවරයා පසුගිය ඡන්දයේදී ඔවුන් සහය පලකලේ ගෝඨාභය රාජපක්ෂට බැවින්, ඔහුට මේ පිළිබඳ වැඩි වගකීමක් තිබෙන බවද සඳහන් කළා.

කොරෝනා ව්‍යාප්තීය සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන මන්දගාමී පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායකයවරයා මෙහිදී විවේචනය කළේය.

නිරෝධායන කඳවුරුවල පහසුකම් නැතැයි මැසිවිලි

මේ අතර, කොරියාව ඇතුළුව රෝගය ව්‍යාප්තව ඇති රටවලින් පැමිණි පිරිස් නිරෝධායන කඳවුරුවල ඇති පහසුකම් අවම බවත්, ඉන් රෝගය පැතිරීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පට මුදාහැර තිබේ.

එසේ මුදාහැර ඇති වීඩියෝ පටයක්.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top