Mar 16, 2020

"කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කිරීමට දිනකට ආරක්ෂිත ඇඳුම් දහසක් ඕන"

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී භාවිත කරන ආරක්ෂිත ඇඳුම් කට්ටල දහසකට ආසන්න සංඛ්‍යාවක් දිනකට අවශ්‍ය වන බව රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා කියයි.

රෝගය වසංගතයක් ලෙස පැතිර ගියහොත් මෙම සංඛ්‍යාව මීටත් වඩා වැඩිවනු ඇතැයි අධ්‍යක්ෂවරයා අවධාරණය කර සිටී.

මෙම ආරක්ෂිත ඇඳුම් කට්ටල මේ වන විට රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් මිලදී ගැනීමට කටයුතු කර ඇති අතර ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා රතු කුරුස හමුදාවෙන්ද ඒ සඳහා ඉල්ලීම් කර ඇති බව ඔහු අරුණ පුවත් පතට අනාවරණය කර තිබේ.

එක රෝගියකුගේ පරීක්ෂාව වෙනුවෙන් දිනකට ඇඳුම් කට්ටල දහයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය වන බවත්, එක් රෝගියකු එක්වරක් පරීක්ෂා කිරීමෙන් පසු එම ඇඳුම් කට්ටලය විනාශ කරන බවත් හෙතෙම සඳහන් කර ඇත.

රෝහල්වල ඉල්ලීම පරිදි ආරක්ෂිත ඇඳුම් කට්ටල පැය විසිහතර පුරාම නිකුත් කිරීමට රජයේ වෛද්‍ය සැපයුම් අංශය මේ වන විටත් කටයුතු යොදා ඇතැයි පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top