Mar 16, 2020

රතන හිමිගේ කොඩිය ඥානසාර හිමියෝ කුරුණෑගලින් උස්සන්න යති  Featured

'පොහොට්ටුවෙන් මෙවර මහ මහ මැතිවරණයට අපේක්ෂකත්වය නොලැබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් විශාල පිරිසක් මෙන්ම පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි වියතුන් රැසක් 'අපේ ජන බල පක්ෂය' යටතේ තරග වැදීමට සූදානමින් සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියති.

එම පක්ෂයේ නායකයා වන්නේද එහිමියෝ වන අතර එම පක්ෂය 'කොඩිය' ලකුණින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

මේ අතර ජනප්‍රිය හිමිවරුන් රැසක් දිස්ත්‍රීක්ක නියෝජනය කරමින් 'කොඩිය' ලකුණ යටතේ මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද පාහියංගල ආනන්ද සාගර හිමියන් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ද ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

2015 අගෝස්තු 17 මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ රතන හිමියන් 2018 ඔක්තෝම්බර් මස 26 සිදුවූ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට සහය දීමට ඉදිරිපත් විය.

2010 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කොට මනාප එක් ලක්ෂ පනස් දහසකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් රතන හිමි මනාප ලයිස්තුවේ 4 වැනි ස්ථානයට පාර්ලිමේන්තු තේරී පත්විය.

ප්‍රථම වරට 2004 වසරේදී පාර්ලිමේන්තුවට පැමිණි රතන හිමියන්ගේ වසර 16ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

මෙවර මහ මැතිවරණයට පුජ්‍ය පක්ෂයට අපේක්ෂකත්වය නොදීමට 'පොහොට්ටු' පක්ෂය ගත් තීරණයත් සමග රතන හිමියන් ගිහි පැවිදි ජනප්‍රිය චරිත රැසක් එක්කර ගනිමින් මෙසේ  'කොඩිය' යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වීමට කටයුතු කරමින් සිටිති.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top