Mar 19, 2020

එකතු වෙන්න එපා කිව්වහම ක්‍රිකට් ගහනවා - හමුදාපති Featured

මහජනතාවට රැස්නොවෙන ලෙස රජය විසින් දැනුම් දීමක් සිදු කර තිබිය දී ඇතැම් පිරිස් නිවාඩු කාලයේ ක්‍රීඩා පිටිවලට එකතු වී ක්‍රිකට් සෙල්ලම් කරන බවට දැන ගන්න ලැබී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මාර්තු 1 – 15 කාලය තුළ පිටරටින් ලංකාවට පැමිණි පිරිසට ලියාපදිංචි වීමට කාලයක් ලබා දුන් බවත් ඒ කාලසීමාව තුළ පුද්ගලයින් 4000ක් පමණ ලියාපදිංචි වී ඇතැයි ද හමුදාපතිවරයා පැවසීය.

ඇතැම් පුද්ගලයින් මේ දින දෙකේ හඳුනා ගෙන ඇති අතර ඔවුන්ට නිවෙස්වල ස්වයං නිරෝධායනයකට ලක් වෙන ලෙස දැනුම් දි ඇතැයි ද පැවසු ඒ මහතා ඇතැම් පිරිස් රට තුළ මෙවැනි ආපදා තත්ත්වයක් පවතින විට ඉතා සැහැල්ලුවෙන් ක්‍රිඩා කිරීමට යොමුව ඇතැයි ද කියා සිටියේය.

65කට නිවෙසට වී සිටින්නැයි ලෙස නියෝගයක්

ඉතාලිය ඇතුළු විදේශ රටවල් කිපයකින් පැමිණ ඇති පුද්ගලයින් 65 දෙනෙකුට දින 14 ක් යන තුරු නිවෙස් තුළ රැඳී සිටින ලෙස මාරවිල දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් හේෂාන්තද මෙල් මහතා තහනම් නියෝගයක් ඊයේ (18) නිකුත් කළේය.

නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා මෙම තහනම් නියෝගය නිකුත් කළේය.

මහෙස්ත්‍රාත්වරයා මෙසේ තහනම් නියෝගය නිකුත් කළේ නාත්තන්ඩිය , මාවිල , කටුනේරිය , මාරවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකටය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top