Mar 25, 2020

මාළු වරායේ ගොඩ ගැසිලා : ධීවර ඇමතිගේ දුරකථනය ගොළු වෙලා

ඇඳිරිනීතිය පැනවීම නිසා ධීවරයන් විසින් අල්ලාගෙන විත් තිබෙන මත්ස්‍ය කිලෝ ලක්ෂ ගණනක් විකුණාගත නොහැකි ව ධීවර වරායන් හි ගොඩ ගැසී ඇතැයි ජාතික ධීවර සම්මේලනයේ අධ්‍යක්ෂ ඩී. දයානන්ද සිල්වා මහතා කියයි.

මෙලෙස තව දින කිහිපයක් ගතවුණහොත් මෙම මත්ස්‍ය තොගය නරක් වන බවත් ඉන් අනතුරුව එය මුහුදට ම දැමීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

ආහාර ද්‍රව්‍ය හා අනෙක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ලබාදෙන පහසුකම් ධීවර ප්‍රජාවටත් ලබා දෙන ලෙස එම සම්මේලනයේ අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටින අතර එසේ නොවුණහොත් ධීවර ජනතාවට දැඩි ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බවත් කීවේය.

ඇතැම් ධීවරයන් මාස ගණනක් මුහුදේ සිට ගොඩබිමට පැමිණ ඇති බවත් ඇඳීරි නීතිය නිසා ඔවුන්ට සිය නිවෙස් බලා යෑමට නොහැකි ව දැඩි පීඩනයකට පත්ව සිටින හෙයින් මේ පිළිබඳව ද රජයේ අවධානය යොමුකර සහනයක් ලබාදෙන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

මේ පිළිබඳ ධීවර ඇමැතිවරයා දැනුවත් කිරීමට දුරකතන ඇමතුම් ගත්ත ද එලෙස ගත් කිසිදු අවස්ථාවක ඇමැතිවරයා සම්බන්ධ කරගත නොහැකි බව පෙන්වා දුන් දයානන්ද මහතා මේ හේතුවෙන් ධීවර ප්‍රජාව දැඩි අසරණ තත්ත්වයකට පත් ව ඇති බව පැවසීය.

එක් ධීවර බෝට්ටුවක් එක් ගමනක් සඳහා රුපියල් ලක්ෂ විස්සක පමණ මුදලක් වැය කර ඇති බව පැවැසු අධ්‍යක්ෂවරයා යම් හෙයකින් රැගෙන විත් තිබෙන මෙම මත්ස්‍ය සම්පත විකුණාගත නොහැකි වුණහොත් ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්වන බවද කීවේය.

මේ පිළිබඳව ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් අවධානය යොමුකර කඩිනම් විසඳුමක් ලබාදෙන්නැයි සමස්ත ධීවර ප්‍රජාව වෙනුවෙන් තමන් ඉල්ලා සිටින බව ද දයානන්ද මහතා කීවේය.

මූලාශ්‍රය - දිනමිණ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top