Mar 26, 2020

තෙවරප්පෙරුම නිහඬ බව බිඳියි (වීඩියෝව) Featured

හිටපු නියෝජ්‍ය ඇමති හා කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය 24 වැනිදා පිටකොටුව පීරා බඩු පොදි ගැහූ හේතුව හෙළිව තිබේ.

ඔහු මෙසේ සිය ජීප් රථය පිරෙන්නට බඩු පොදිගසන් ගොස් ඇත්තේ ඔහුගේ පරිභෝජනයට නොවන අතර ඔහු මේ බඩු තොගය ගෙන ගොස් ඇත්තේ ඇඳිරිනීතිය පැනවීමෙන් එදාවේල හරි හම්බකරගත් කළුතර ජනතාවගේ කුස ගින්න නිවීමටය.

Covid-19 වෛරසය හේතුවෙන් සමස්ත ජනතාව ම අසරණව සිටියදී ඔවුන්ගේ දුක සැප සොයා බැලීමට පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් අතරින් ඉදිරියට පැමිණියේ ජනතා විමුක්ති පරමුණ මන්ත්‍රීවරුන් පිරිස ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පමණි.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට දැඩි විවේචනයක් එල්ලවී තිබේ.

සහන පිළිබඳ අසත්‍ය ප්‍රචාර එපා – අගමැති

මේ අතර, Covid-19 වෛරසය පැතිරීම පාලනය කරන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ ගත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවධානය යොමුකර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය කර ඇති බව පැවසේ.

වගකිවයුතු රජයක් ලෙස ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන ඇති ඇතැම් තීන්දු පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජ ජාල ඔස්සේ ප්‍රචාරණය වීම ඊට හේතුව බවද ඒ මහතා කියා සිටී.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇතුලත් සහන ජනතාවට ලබාදීම ඇතුළුව අග්‍රාමාත්‍යවරයා ගෙන ඇති තීන්දු හිතාමතාම අසත්‍ය ලෙස සමාජ ගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පෙනී යන බවද ඔහු කියා සිටී.

මූල්‍ය ශක්තිය ඇති නැති සියලු දෙනා කොරෝනා ව්‍යසනයෙන් කායික මෙන් ම මානසික පීඩාවට පත්ව සිටින මෙවැනි අවස්ථාවක දේශපාලන අවශ්‍යතා ඉස්මතු කරමින් පහත් ආකාරයෙන් මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කිරීම හෙළා දකින බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

මෙලෙස සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ නීතිඥයින් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද ඊයේ (2020.03.25) පියවර ගෙන තිබේ.

පක්ෂ පාට භේදයකින් තොරව සමස්ත රට වැසියාම අනතුරට මුහුණ පා ඇති මෙවන් අවස්ථාවක සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් රජයේ උත්සාහය හෑල්ලුවට ලක් කරනවා වෙනුවට රජයේ මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය ලබා දෙන්නයි රජය සියලු සමාජ මාධ්‍ය ඉල්ලා සිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top