Mar 26, 2020

මරණ දඬුවම නියමව සිටි සුනිල්ව ජනපති නිදහස් කරයි

මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනකු ඝාතනය කිරීමේ වරදට චෝදනා එල්ලව මරණ දඬුවම හිමිව තිබූ යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බව සිංහලේ සංවිධානයේ  මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සිය ෆේස් බුක් පිටුවට වීඩියෝවක් මුදාහරිමින් පවසා තිබේ.

මිරුසවිල් ඝාතනය ලෙස මෙය දෙස් විදෙස් මාධ්‍ය අතර වඩාත් කතා බහට ලක්වූ සිද්ධියක් වන අතර යුද්ධය පැවති සමයේ 2000 වර්ෂයේ දෙසැම්බර් 20 වැනිදා දරුවන්ද ඇතුළු ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් අට දෙනෙකු සමූල ඝාතනය කිරීම එම සිද්ධියයි.

ප්‍රහාරයක් සිදු කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් මරා දැමී යැයි සැරයන් සුනිල් රත්නායකගේ පාර්ශ්වයෙන් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළ අතර, සිය දේපල සෝදිසිකර බැලීමට පැමිණි, අවතැන්වීමට ලක්වූ නිරායුධ සරණාගතයන් අටදෙනෙකු යාපනයට නුදුරු මිරුසුවිල් ග්‍රාමයේදී අත්අඩංගුවට ගනු ලැබ පසු දිනදී සමූලඝාතනය සිදුකර ඇති බවට අනෙක් පසින් චෝදනා එල්ලවිය. 

පසුව සෙබළුන් පිරිසක් විසින් ඝාතනය කර දමනු ලැබ යාපනය නගරයට සැතපුම් 16ක් පමණ නැගෙනහිරින් පිහිටි පෙදෙසක සමූහ භූමදානයක් කොට තිබි හමුවිය.

උඩුපිඩ්ඩි ප්‍රදේශයේ සිට නැවත පැමිණ සිටි සරණාගත පිරිස දෙසැම්බර් 19 වැනිදා මිරුසුවිල් වෙත, සිය නිවාස සෝදිසි කර බැලීමට සහ දර එකතු කිරීම පිණිස පැමිණ සිටියදී හමුදාව යැයි සැකකෙරන අය විසින් අත්අඩංගුවට ගත් බවත් සිය පැරණි දේපල නිරික්ෂණය කිරීමට ඔවුන් ප්‍රාදේශීය බලධරයින්ගෙන් අවසර ගෙන තිබූ බවද අධිකරණයේදී හෙළිවිය.

දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සී. කදිර්වෙට්පිල්ලෙයි මහතාගේ සාක්ෂිය අනූව ඝාතනයට ලක්වූ වින්දිතයින්ගේ ගෙල කපාදමා තිබූ බව හෙළිවිය.

මියගිය අය අතර යෞවනයන් තිදෙනෙක් සහ පස් හැවිරිදි දරුවෙකු වූ බව පැවසේ.

අත්අඩංගුවේ සිට දරුණු තුවාල ද සහිතව හමුදා භාරයෙන් පලා ආ යැයි කියන අයෙකු විසින් සිය ඥාතීන්ට මෙය සැළකිරීමෙන් අනතුරුව ඝාතන සිද්ධිය වෙත බාහිර අවධානය යොමු විය.

අවසානයේ ශ්‍රී ලංකා රජය විසින්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, අඩන්තේට්ටම් කිරීම, ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මෘත දේහ සමූහ මිනීවලක භූමදානය කිරීම යන චෝදනා යටතේ හමුදා සෙබළු  අත්අඩංගුවට ගන්නා ලදි.

මුලදී හමුදා සෙබළුන් 14දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණි. 

ඔවුන් පිරිස යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. 

අත්අඩංගුවට ගත් 14දෙනාගෙන් 9දෙනෙකු සියළු චෝදනා වලින් නිදහස් කරනු ලැබුණු නමුත් නීතිපති විසින් ඔවුන්ගෙන් පස්දෙනෙකුට එරෙහිව සිදුවීමට සම්බන්ධ චෝදනා ගොනුකරන ලදී.

පසුව නඩු විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනයන ලදී. 2002 වසරේදී නඩුව කොළඹ මහාධිකරණයට හරවා යැවුණු අතර ඉන් වසර 13ක් මුළුල්ලේ නඩු විභාගය සිදුවිය.

අනතුරුව කොළඹ මහාධිකරණය විසින් 2015 ජූනි 25 වැනිදා හමුදා සැරයන් සුනිල් රත්නායක නැමැත්තා, යාපනය මිරුසුවිල්හී සිදුකල සිවිල්වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාල චෝදනා 15කට වරදකරු කරමින් ඔහු වෙත මරණ දණ්ඩනය නියම කරන ලදී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top