Mar 29, 2020

ආර්ථික අපහසුතා මැද වුවද සාර්ක් කොරෝනා අරමුදලට මුදල් දිය හැකියි  Featured

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද, සාර්ක් කලාපයේ කොරෝනා හදිසි අරමුදලට ඩොලර් මිලියන 05 ක් ලබාදෙන බවට සිදුකළ පොරොන්දුව ඉටුකළ හැකි බවට රජය විශ්වාසය පළ කරයි.

මෙතරම් විශාල දායකත්වයක් ලබාදීම මෙරට ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ  දැයි කළ විමසුමකදී මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා 'ද සන්ඩේ මෝනින්' පුවත්පත වෙත පවසා ඇත්තේ එවැනි මුදලක් ලබාදිය නොහැකි නම් මුදල් අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රතිඥාවක් සිදුනොකරනු ඇතිබවයි.

(මේවන විට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය)

මේ සඳහා මුදල් ඒකාබද්ධ අරමුදලෙන් ලබාගැනීමට සිදුවන බවත්, ජනපතිවරයාට එවැන්නක් කිරීමට බලතල ඇති බවත්, මෙය විශේෂ ප්‍රතිඥාවක් බැවින් ඔහු එය සිදුකරනු ඇතිබවත් ආටිගල මහතා පවසා ඇත.

ආර්ථිකයේ විශාලත්වය අදාල නෑ

මේ අතර, ශ්‍රී ලංකාවට වඩා විශාල ආර්ථිකයක් සහිත වූ බංගලාදේශයද මෙම අරමුදලට ලබාදී ඇත්තේ ලංකාවට වඩා බෙහෙවින් අඩු මුදලක් නොවේදැයි 'ද සන්ඩේ මෝනින්' ඇසූ පැණයකට කැබිනට් ප්‍රකාශක හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා ඇත්තේ මෙවැනි ප්‍රතිඥා ලබාදීමේදී ආර්ථිකයේ විශාලත්වය අදාල නොවන බවයි.

“දායකත්වයේ ප්‍රමාණය ආර්ථිකයේ ප්‍රමාණය හෝ රටේ ප්‍රමාණය මත රඳා නොපවතී. සෑම රටක්ම තමන්ව හඳුන්වාගන්නේ සමාන තත්ත්වයේ පවතින ස්වෛරී රාජ්‍යයක් ලෙසයි. ඕනෑම දායකත්වයක්, ප්‍රදානයක් සිදුකරන පදනම එයයි," යැයි ඔහු පවසා තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අසීරු තත්ත්වයක පවතින මෙවැනි අවස්ථාවකදී ඩොලර් මිලියන 05 ක් පරිත්‍යාග කළ යුතු දැයි විමසූ විට ඔහු මෙසේ පැවසීය: “එය සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්... මේ සඳහා මුදල් ඇමතිවරයා එකඟත්වය පළ කර ඇති බව මට විශ්වාසයි... එබැවින් අපට එය දරාගත හැකි වේවි," යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

හදිසි අරමුදල

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයක් මත නිර්මාණය වූ සාර්ක් කලාපයේ කොරෝනා හදිසි අරමුදල වෙත ඩොලර් බිලියන 10ක් ප්‍රදානය කිරීමට ඉන්දියාව මේ වන විට පොරොන්දුවී තිබුණි. ඉන්දියාවෙන් පසුව මෙම අරමුදලට ඉහළම දායකත්වයක් ලබාදීමට පොරොන්දු වී තිබුණේ ශ්‍රී ලංකාවයි.

බංග්ලාදේශය විසින් ඩොලර් මිලියන 1.5 ක් ද, නේපාලය හා ඇෆ්ගනිස්ථානය ද ඩොලර් මිලියනය බැගින්ද මෙම අරමුදලට ලබා දීමට පොරොන්දු වී තිබේ. මේ අතර, මාලදිවයින සහ භූතානය පිළිවෙලින් ඩොලර් 200,000 සහ ඩොලර් 100,000 ක් ලබාදීමට ප්‍රතිඥා දී ඇත. පකිස්තානය සිය දායකත්වය පිළිබඳව මේ දක්වා නිවේදනයක් නිකුත් කර නැති ඇතර, පවතින කාශ්මීර අර්බුදය මීට හේතුව බව පැවසේ.

පන්සලක් හදද්දි දුප්පත්ම පවුලත් දෙනවා

මේ අතර, ජ්‍යෙෂ්ඨ හා ස්වාධීන ආර්ථික විද්‍යා විශේෂඥ - ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසා ඇත්තේ මෙය නාස්ති නොවන මුදලක් නොවන බවයි.

"මෙය නාස්ති වන මුදල් නොවේ. එය සියලු සාර්ක් රටවලට උපකාර වන්නක්. අපට එය දැරිය හැකි වුවත් නැතත්, මෙවැනි තත්වයක් තුළ ලෝකයම එක්ව වැඩ කළ යුතුයි. ගමක පන්සලක් ඉදිකළත්, ගමේ දුප්පත්ම පවුලත් ඊට දායක විය යුතු," යැයි පැවසූ ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම අරමුදලට ඩොලර් මිලියන 5 ක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් රජයට දෝෂාරෝපණය නොකළ යුතු බවයි.

කෝටි 2ක් දළදා මාළිගාව, මල්වතු හා අස්ගිරි උභය විහාරයෙන් 

ජනපතිවරයා සාක් Covid-19 අරමුදලට ඩොලර් මිලියන 05ක් ලබාදීමට පොරොන්දුවීමෙන් පසුව මෙරටින් Covid-19 තුරන් කිරීමට “Covid-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” නමින් අරමුදලක් පිහිටුවනු ලැබීය. 

එම අරමුදලට ඊයේ (28) දළදා මාළිගාවෙන් සහ මල්වතු - අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි 02 ක පරිත්‍යාගයක් ලබාදෙන ලදී.

ඊයේ (28) පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබාගැනීම සඳහා ජනපතිවරයා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගිය ගමනේදී එහි දියවඩන නිලමේ, නිලංග දෑල මහතා ජනපතිවරයා පිළිගෙන මේ ප්‍රදානය කර තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top