Apr 01, 2020

අවධානයෙන් සිටින්න, කොරෝනා පතුරවන පිරිසක් ගැන හෙළි වෙයි ! Featured

කොරෝනා වෛරසය ආසාදනය වුවද කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටිය හැකි බවට සැක මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තමන් ද නොදැන තමන්ගේ ශරීරයට වෛරසය ආසාදනය වූවන් විසින් වෛරසය සමාජගත කිරීම නොදැනීම සිදු කරන බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.  

ශ්‍රී ලංකාවේ ද එවන් පුද්ගලයන් සිටිය හැකි බවත් එය අතිශය භයානක තත්ත්වයක් බවත් බොහෝ රටවල ඒ ආකාරයෙන් පුද්ගලයන් සිටින බවත් ඔවුන් විසින් රෝගය විශාල පිරිසක් මත මුදාහරින බවද ඔහු කියා සිටියේය.

ප්‍රතිශක්තිකරණය ඉහළ තත්වයක ඇති පුද්ගලයනට කොරෝනා වෛරසය ශරීරයට ආසාදනය වූවද එහි රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් ඔහු රෝගය පැතිරවීමේ වාහකයන් බවට පත් වන බවද සභාපතිවරයා සඳහන් කළේය.

කොරෝනා පාලනයට නීති දැඩි කරන්න

දැනට රට තුළ පවතින තත්ත්වය අනුව මේ මොහොතේ ගත හැකි දැඩි ක්‍රියාමාර්ග මගින් මෙම වෛරසය මර්දනය කර ගැනීමට කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අවවාද කර තිබේ.

මේ නිසා කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමට විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

ඊට අමතරව වෛරසය මර්දනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණ්‍ය 80%ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත් ඔවුන් දැනුම් දෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top