Apr 02, 2020

දෙරණ චතුර හා අර්බුදය අලුත් පැත්තකට ! Featured

දෙරණ රූපවාහිනී නාලිකාවෙහි සජීවී දේශපාලන සංවාදයක් අතරතුර ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ නිවේදක චතුර අල්විස් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරගවැදීමට නියමිත අපේක්ෂක ඕෂල හේරත් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඉල්ලා සිටී.

එය පහත දැක්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අවස්ථාව ලබාදීම වෙනුවෙන් තමන්ට වෙනම ගෙවීමක් ලැබිය යුතු බව එම සංවාදය මෙහෙයවූ නිවේදක චතුර අල්විස් මහතා පවසන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයෙහි මේ වන විට සංසරණය වෙමින් පවතී.

සජීවී විකාශය අතරතුර වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා ලබාගත් විවේකයක් අතරතුර චතුර අල්විස් මහතා ජාතිවාදී පදනමෙන් ප්‍රහාර එල්ල කළ යුතු බව අවධාරණය කරන අයුරු දැක්වෙන මෙම වීඩියෝව විනාඩි දෙකක පමණ කාලයකින් යුක්ත වන අතර එය අත්වැරදීමකින් ප්‍රචාරණය වූ එකක් බව ද කියැවේ.

(අදාළ වීඩියෝ පටය අපවෙත ලැබී ඇතත් එය නැවත නැවත ප්‍රචාරය කිරීම කිසිවකුගේ සිත්තැවුලට හේතුවන බැවින් අප පළ නොකරන බව කරුනාවෙන් සලකන්න.)

චතුරට පිටිපස්සෙන් පිහියෙන් ඇන්නාද?

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් ප්‍රවීන මාධ්‍යවේදී රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ අදාල කාරණාව මැතිවරණය ආසන්නව තිබීම නිසා චතුර ඇතුළු පිරිස සිදුකරණ ලද ප්‍රයෝගයක් විය හැකි බවයි.

එය ඔහු "ලීක් කළේ කවුද? ඒවා රෙකෝඩ් වෙන්නෙ කොතනද? කොපි කරල එළියට ගන්න පුළුවන් කාටද ?youtube දැම්මෙ කවුද ?" ආයතනය විසින්මයි,මැතිවරණය ලඟයි” යනුවෙන් සටහන් තබා තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ප්‍රචාරණ ව්‍යාපාරය මෙහෙයවූයේ දෙරණ මාධ්‍ය ජාලය විසින් බව ප්‍රකට රහසකි.

ඔවුන් එහිදී ද අසත්‍ය පුවත්, සදාචාරාත්මක නොවන ප්‍රචාරණයන්, නීතිවිරෝධී ප්‍රචාරණයන් යන සියලුම උපක්‍රම භාවිතා කළ බවටත්, එම ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙහි මූ‍ලික පදනම වූයේ ද මුස්ලිම් විරෝධය බවටත්, මෙවර කැඳවා ඇති මහමැතිවරණයේදීත් පොහොට්ටුවේ ප්‍රචාරණ ව්‍යාපෘතිය සිදුකරන්නේ දෙරණ විසින් වියයුතු අතර ඔවුන් දැන්ම තියා ඊට අදාළ පසුබිම සියලු සදාචාර සහ මනුෂ්‍ය මානයන් බිඳහෙළමින් කටයුතු කරමින් සිටින බවට “ලංකා නිවුස් වෙබ්” වෙබ් අඩවිය චෝදනා කර තිබේ.

චතුරගේ තවත් තක්කඩිකමක් !

චතුරට මෙසේ චෝදනා එල්ලවූ පළමු අවස්ථාව මෙය නොවන අතර ඔහුට මීට පෙර නමගිය වංචාකරුවකු වූ සක්විති රණසිංහ සමඟ සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවිය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කර තිබූ හෙළිදරව්ව පහත දැක්වේ.

වීඩියෝව

ICCPR යටතේ අත්අඩංගුවට පත්වීම්

ඉකුත් ආණ්ඩු සමයේදී පොල්ගහවෙල ප්‍රදේශයේ භික්ෂූන් පිරිසක් සිදු කළ පැමිණිල්ලකට අනුව සම්මානලාභී ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

එසේම, රහීම් මසාහිනා නැමැති කත ඇඟලා සිටි දිගු ගවුමේ පිටුපස 'ධර්ම චක්‍රයක හැඩයේ' සලකුණක් තිබීම හේතුවෙන් හසලක පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබීය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ අඩංගු වගන්තිවලින් බලාත්මක වන නීතිය අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු සිදු කළ බව එකළ පොලිසිය පැවසීය.

පනතට හේතු

තිස් වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධමය වාතාවරණය තුළ ඇතැම් මූලික අයිතිවාසිකම් සීමා වූ බවට එල්ල වූ චෝදනා හමුවේ, යුද්ධ ගැටුම්වලින් අනතුරුව එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සඳහා නීති සම්පාදනය කරමින් පිළිගත් ජාත්‍යන්තර සම්මුති හා සමගාමීව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට සිදු විය.

2007 වර්ෂයේ සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු නොවුණු ඇතැම් මානව හිමිකම් තහවුරු කිරීම එමගින් අපේක්ෂා කෙරේ.

1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබ, 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව ද පාර්ශවයක් ලෙස එක් විණි.්‍

1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන් ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලට ද ව්‍යවස්ථාමය පිළිගැනීක් ලබා දීම සිදු විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top