Apr 03, 2020

නාමයෝජනා අවලංගු කිරීමට බලයක් නැතිබව මැකෝ හෙළිකරයි ! Featured

කැඳවන ලද නාමයෝජනා අවලංගු කිරීමේ හැකියාවක් මැතිවරණ කොමිසමට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

එමෙන්ම පාර්ලිමේන්තුව නැවත රැස්වුවද කැඳවන ලද නාමයෝජනා පිළිබඳව පාර්ලිමේන්තුව තීන්දුවක් ගත යුතු බවද ඔහු පවසා තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හා නීතිපතිවරයාගෙන් කරුණු විමසා තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමට සිදුවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත.

මෙම තත්වය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිසි පැහැදිලි කිරීමක් නොමැති නිසා ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතන තුන පවතින තත්වය විසඳාගත යුතු බවත්,  ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍ය බලය හිමි ආයතන තුන ඒවා බවද ඔහු කියා සිටී.ඉහත කී ජනාධිපතිවරයාට යැවූ ලිපියෙහි පිටපතක් ගාමිණී සෙනරත් මහතා වෙත ද යොමු කළ බවත්, ඒ අගමැතිවරයා දැනුවත් කිරීමට බවත් ඔහු කියා සිටී.

එම ලිපියෙහි මෙසේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.

"පසුගිය පැය විසිහතර තුළ කොවිඞ් 19 රෝගීන් වැඩිවූ සංඛ්‍යාව සලකා බලන විටදී හා වසංගත රෝග පාලනය පිළිබඳ විශේෂඥ මත අනුව මේ වෛරසයේ පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීම අප්‍රේල් මාසයේදි සිදුකළ නොහැකි බව පැහැදිලිය.එහෙයින් පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස අවසන් සතිය තුළදී හෝ පැවැත්විය නොහැකි බවත්, එනිසා පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 02 දින සිට මාස තුනක් ඉකුත් විමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බවත් 2020.04.01 දින රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි.මේ නිසා ඇතිවන ගැටලූ විසඳා ගැනීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීමක් ලබා ගැනීමට ගරු ජනාධිපතිතුමා කඩිනමින් ක්‍රියා කිරීම යෝග්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අදහස් කරයි.කරුණාකර මේ පිළිබඳව නොපමාව අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරනු මැනවි."

මැතිවරණ කොමිෂන් සභාව මාර්තු 31 වැනිදා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවමින් කියා තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි නිසා ඇතිවන ගැටලූ පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසන ලෙසය.

මූලාශ්‍රය - අනිද්දා

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top