Apr 04, 2020

නිර්දේශ ක්‍රියාත්මක කරන්න, පැහැර හරින බැංකුවලටනීතිමය පියවර !

පවත්නා තත්ත්වයේ විශේෂත්වය සලකා එයින් දුෂ්කරතාවලට මුහුණ දී සිටින පහළ ස්ථරවල ව්‍යාපාර හා මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන්නැයි මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සියලු බැංකුවලින් ඉල්ලා තිබේ.

දිගින් දිගට මේ යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව අදාළ නීති රීති යටතේ කටයුතු කිරීමට මහ බැංකුවට සිදු නොවන පරිදි ක්‍රියාකරන සේ තමන් එම බැංකු ආයතනවලින් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට ඉවහල් වන අයුරින් ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිලි කරමින් මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත මේ ප්‍රකාශය සිදුකර තිබේ.

* බැංකු ණය ලබා කටයුතු කරමින් සිටි ව්‍යාපාරිකයන් මෙන්ම පුද්ගලික ණය ගත් අය, විශේෂයෙන් කුඩා හා මධ්‍යම තරමේ ව්‍යාපාරිකයන් වෙනුවෙන්, ණය වාරික ආපසු ගෙවීම්, අදාළ කාලය සඳහා නැවැත්වීම (moratorium).

* අලුත් වැඩ ප්‍රාග්ධන (working capital) ණය ව්‍යාපාරිකයන්ට - 4% පොලියට.

* මහ බැංකු ප්‍රති මූල්‍යන ක්‍රම යටතේ ලබා දීමට කටයුතු කිරීම.

* වෛරස් ප්‍රශ්නය නිසා පීඩාවට පත් විවිධ කොටස්වලට පිහිට වීම අරභයා රජය යෝජනා කොට ක්‍රියාත්මක කරන විවිධ වැඩ සටහන් සඳහා ආණ්ඩුවට භාණ්ඩාගාර බිල්පත්/සුරැකුම් පත් යටතේ මුදල් ලබා දීම - බිලියන 100 ක් පමණ අවස්ථා දෙකකදී දැනට ලබා දී ඇත.

* පොලී අඩු කිරීම, සංචිත අනුපාත අඩු කිරීම ආදී ක්‍රම මගින් ජනයාට බැංකු ණය පහසුකම් වැඩි කර දීමට බැංකු හා මූල්‍ය අායතනවලට පහසුකම් සලසා දීම.

* මේ කාලය තුළ, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට අනුව මහජනයා සඳහා අවම බැංකු සේවා සපයා දීම සදහා අවශ්‍ය බොහෝ කටයුතු බැංකු සමඟ එකතු වී ක්රියාත්මක කිරීම.

*ආනයන සීමා කිරීම හරහා, සිදු වෙතැයි අපේක්ෂා කරන ගෙවුම් ශේෂය හා විදේශීය වත්කම් පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදීම හා එමගින් ආනයන වෙනුවට දේශීය නිෂ්පාදන කටයුතු ප්‍රවර්ධනය දිරි ගැන්වීම.

* වාණිජ බැංකු හා වෙනත් මූල්‍ය ව්‍යාපාර හරහා මහජනයාට පිහිට වීම හා ව්‍යාපාරවලට උදව් වීම සඳහා පොලී අනුපාතික පහළ දැමීමටත් බැංකු ක්‍රමයේ ද්‍රවශීලතා තත්ත්වයන් වැඩි දියුණු කිරීමටත් කටයුතු කිරීම.

* මහ බැංකුව බැංකු පරීක්ෂණ කටයුතුවලදී අදාළ කර ගනු ලබන යම් යම් කොන්දේසි ලිහිල් කොට බැංකුවලට තමන් සතු වත්කම් පදනම් කොට දිය හැකි ණය ප්‍රමාණ ඉහළ නැංවීම.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top