Apr 09, 2020

ගාන පොඩි නිසා කොරෝනා අරමුදලට පරිත්‍යාගය ප්‍රමාද කරන ඇමතිකෙනෙක්

covid-19 හෙවත් කොරෝනා වෛරසය රට තුළ පැතිරයාම පාලනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජආරක්ෂණ අරමුදලට කෘෂිකර්මය සඳහා වූ අන්තර්ජාතික අරමුදල් ව්‍යාපෘතියේ (International Fund For Agriculture Development - IFAD) සියලුම කාර්යමණ්ඩලය විසින් තම අප්‍රේල් මස දින 3 ක වැටුප පරිත්‍යාග කරනු ලැබුවත් එමපරිත්‍යාගය අවම මට්ටමක පවතින නිසා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂි කර්මාන්ත අමාත්‍යවරයා අදාල මුදල අරමුදලට දීම ප්‍රමාද කර ඇති බවට චෝදනාවක් එල්ලවී තිබේ.

වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂි කර්මාන්ත අමාත්‍යංශ්‍ය යටතේ පිහිටුවා ඇති කෘෂිකර්මය සඳහා වූ අන්තර්ජාතිකඅරමුදල් ව්‍යාපෘතියේ (IFAD) කාර්යමණ්ඩලය විසින් රුපියල් 632,332 ක මුදලක් මෙලෙස සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණඅරමුදලට ලබාදීම සඳහා පසුගිය මාර්තු (30) දා අදාළ චෙක් පත සුදානම් කර ඇත.

එහෙත් රුපියල් මිලියන ගණන් මුදල් එම අරමුදලට මේ වනවිට ලැබෙමින් පවතින බැවින් කෘෂිකර්මය සඳහා වූඅන්තර්ජාතික අරමුදල් ව්‍යාපෘතියේ ( IFAD) කාර්යමණ්ඩලය විසින් රැස් කර ඇති රුපියල් ලක්ෂ 6 ක තරම් වූපරිත්‍යාග මුදල ලබාදීම ප්‍රමාද කර ඇත.

වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙම පරිත්‍යාග මුදල ජනාධිපති කාර්යසාදක අරමුදලට ලබා දීමට එකගත්වය පළකර තිබුණු බවද වාර්තා වෙයි.

මෙහිදී වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාව කිහිප අවස්ථාවකදීම සම්බන්දකරගැනීමට උත්සහ කල නමුත් එය ව්‍යර්ථ විය.

දැනට සුදානම් කර ඇති චෙක් පත දින (14) කින් පසුව අවලංගු වන අතර එය ලබන (12) වැනිදාට පෙර ලබාදීමටනොහැකි වුවහොත් නැවත චෙක් පතක් ලිවීමට සිදුවනු ඇති බවද පැවසේ.

කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන හෙවත් ස්ටාර් (Star) ව්‍යාපෘතියේ නමින් මෙම චෙක් පත සුදානම් කර ඇති අතරකාර්යමණ්ඩල සාමාජිකාවන් 150 ක පිරිසකගේ දින 3 ක දෛනික වැටුප මෙම අරමුදලට ලබා දී තිබුණි.


- ඉන්දික ශ්‍රී අරවින්ද

අදාල චෙක්පතේ ඡායාරූපයක් පහත දැක්වේ.Covid Fund Cheque

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top