Feb 08, 2017

'ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමුඛ අවශ්‍යතාවයක්' - ජනාධිපති

යුක්තිය ඉටු කර ගැනීම පිළිබඳව යුද පීඩිතයන්ගේ අපේක්ෂා ඉටුකිරීමට පෙර ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට රජය තීන්දු කර තිබේ.

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා යොදා ගත යුතු යාන්ත්‍රනය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කළ සංහිඳියා කමිටුවේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාවේ යෙදවීමට සියලු ප්‍රජාවන්ගේ සහාය ලබා ගත යුතු බවයි.

“සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරීමට වඩා ව්‍යවස්ථා සංශෝධන ප්‍රමුඛත්වයෙහි ලා සලකන බව ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කළේය,” යි සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අධිකරණ යාන්ත්‍රණය විදේශීය දායකත්වයෙන් සිදුවිය යුතු බවට යුද පීඩිත දෙමළ බහුතරයක් කළ යෝජනාව කමිටු නිර්දේශයකටද ඇතුලත් වුවත් රජය විසින් එය ප්‍රතික්ෂේප කර තිබුනි.

රට පුරා මහජන මත විමසූ ආචාර්ය මනෝරි මුත්තෙට්ටුවගේ ප්‍රධානත්වයෙන් යුත් සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය තම නිර්දේශ අඩංගු වාර්තාව රජයට ලබා දුන්නේ පසුගිය මාසය මුලය.


එකවර දෙකක් කරන්න බැහැ :

කමිටු සාමාජිකයන් සමග පසුගිය මස අගදී පැවති විවෘත අදහස් හුවමාරුවකදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමත්, ව්‍යවස්ථා සංශෝධනයත් එකවර සිදු කිරීම අසීරු බවයි.

කෙසේ වෙතත්, තමන් සංක්‍රාන්තික යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව කමිටු සාමාජික ප්‍රකට ගත් කතුවර ගාමිණී වියන්ගොඩ ප්‍රකාශ කළේය.

යුද්ධයෙන් හානියට පත් ජනතාවගේ ඉඩම් ආපසු පවරා දීම වැනි කටයුතු කෙරෙමින් පවත්නා බව ජනාධිපතිවරයා කමිටුවට දැනුම් දී ඇතත්, හමුදාව වාඩිලා ගත් ඉඩම් වලින් ඉවත් වන ලෙස බල කරමින් මුලතිව් වැසියෝ දිගටම උද්ඝෝෂණයේ යෙදී සිටිති.

සංහිඳියා කමිටු වාර්තාව මැනවින් අධ්‍යයනය කරන ලෙස ආචාර්ය මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ගාමිණී වියන්ගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රජය විසින් පත් කරන ලද සංහිඳියා කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, කේ ඩබ් ජනරංජන, මහාචාර්ය දයා සෝමසුන්දරම්, විශාකා ධර්මදාස, ශාන්තා අභිමානසිංහම්, මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු, ආචාර්ය ෆර්සානා හනිෆා, මහාචාර්ය ගමීලා සමරසිංහ සහ මිරාක් රහීම් කටයුතු කළහ.

(radiogagana)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top