May 09, 2020

"11දා කරන්නේ රට විවෘත කිරීමක් නොවෙයි" Featured

අනිද්දා (11) සිදු වන්නේ රට විවෘත කිරීමක් ලෙස බොහෝ දෙනා අර්ථ ගැන්වූවත් එය "ඇලට්නස්"  (පරික්ෂාකාරී බව) එක අඩු කිරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි.

ඉහළ අවධානය යොමු කරන මට්ටමක සිට මධ්‍යස්ථ අවධානය යොමුකරන මට්ටමක් දක්වා අනිද්දට රට ගෙනෙන බවත් කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙයත් සමග සියයට අසූවක් දක්වා පවත්වාගෙන ගිය සමාජ දුරස්ථකරණය සියයට පනහ දක්වා පමණ අඩු විය හැකි බව සඳහන් කළේ ය.

(එළඹෙන 11 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ද ඇදිරි නීතිය පැවතුණත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර තිබේ.)

වැඩෙන් ලෙඩ්ඩු වැඩිවෙන්නත් අඩුවෙන්නත් පුළුවන්

මෙම ක්‍රියාදාමයත් සමඟ රෝගීන් අඩුවීම හෝ වැඩිවීම යන කාරණා දෙක ම සිදු විය හැකි යැයි ද කී හෙතෙම යම් හෙයකින් රෝගී සංඛ්‍යාව ඉහළ ගියහොත් එහි දී කිනම් ක්‍රියාමාර්ගවලට එළඹෙන්නේ ද යන්න පෙර සූදානමකින් සිටිය යුතු බවද ඔහු සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන මාර්ගෝපදේශවලට ඔබ්බෙන් ජනතාව කටයුතු කළහොත් දරාගත නොහැකි තත්ත්වයක් රට තුළ ඇති විය හැකි යැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.

නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ප්‍රධාන මාර්ගෝපදේශයක් වහා සැකසිය යුතු බවත් ඒ වෙත සෑම සියලූ‍ දෙනා අනුගත වීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් ඔහු සඳහන් කරයි.

එසේ නොකර මෙම වෛරසය පාලනය කිරීම ගැටලූ‍ සහගත යැයි ද හෙතෙම කියා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශය සකසන ප්‍රධාන මාර්ගෝපදේශය ට අනුව ඒ ඒ ආයතන තමන්ගේ මාර්ගෝපදේශ ඇතුළත් කළ යුතුව ඇති බවත් හෙතෙම කීය.

අලුත් ගැසට් එක අද

මේ අතර, ලබන 11 වැනිදා සාමාන්‍ය කටයුතු සඳහා රට විවෘත කිරීමට අදාළ නව තීන්දු තීරණ ඇතුළත් ගැසට් නිවේදනයක් අද (09) නිකුත් කිරීමට නියමිතය.

Bus Covid19 670px 20 04 20

ලංගම බස් රාජකාරි අවශ්‍යතාවලට විතරයි - අමරවීර

ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වන විට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෝච්චි වෙන්කළ ආසනවලට සීමා වෙයි

රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සේවකයෝ තුන්දහසක් පමණ ලබන සඳුදා කොළඹ පැමිණීම සඳහා මේ වන විටත් දුම්රිය ආසන වෙන් කරගෙන සිටිති.

එදිනට ගමන් කළ හැකි වන්නේ ආසන වෙන් කර ගත් වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට පමණක් වන අතර ඔවුන්ට වෙන් කර ඇති දුම්රිය මැදිරිය, නියමිත ආසනය පිළිබඳ තොරතුරු එස්.එම්.එස්. පණිවුඩයකින් ජංගම දුරකථනයට ලැබෙන්නට සැලැස්වෙන අතර මගීන් දුම්රියට ගොඩ වීමට පෙර එම පණිවුඩය සෑම දුම්රිය ස්ථානයකදීම පරීක්ෂා කරන බව දුම්රිය වාණිජ අධිකාරී වජිර පොල්වත්ත මහතා කියයි.

ඊට අමතරව මේවත් පිළිපැදිය යුතුයි !

  • විවිධ විලාසිතාවලින් යුතු ආභරණ හා ආයිත්තම් පැළඳිම ඔබ නොකළ යුතු අතර අවශ්‍යම දෑ පමණක් කාර්යාලයට රැගෙන යාමට වගබලා ගත යුතුය.
  • ඔබ කාර්යාලයට පැමිණීම සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්නේ නම්, බස් රථයේ හෝ දුම්රියේදී දුරස්ථභාවය පවත්වාගෙන යාම අමතක නොකළ යුතුයි.
  • ඔබ, ඔබේ පෞද්ගලික වාහනයෙන් සේවා ස්ථානයට පැමිණෙන්නේ නම් කාර්යාලීය හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත පෙන්වා පොලීසිය හා ආරක්ෂක අංශවලට සහය දැක්වීමට වග බලා ගැනීම වැදගත් වේ.
  • කාර්යාල පරිශ්‍රයට ඇතුළු වන ඔබ, හොඳින් අත සෝදා විෂබීජහරණය සිදුකර ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතුයි.
  • විදුලි සෝපානය භාවිත කිරීමේදිත් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර දුරස්ථභාවය රැකගනිමින් එහි ගමන් කිරීම ඉතාම වැදගත් බව සෞඛ්‍ය අංශ කියයි.
  • කාර්යාලයට ඇතුල්වීමේදී විෂබීජනාශක දියර යොදා නැවත අත් පිරිසිදු කර ගත යුතුයි.
  • වැළමිට යොදා ගනිමින් මෙලෙස කාර්යාල දොර විවෘත කිරීමට හැකියාව පවතියි.
  • රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර විෂබීජනාශක දියර යොදා කාර්යාලීය උපකරණ හා ඔබ දෛනිකව භාවිත කරන දෑ පිරිසිදු කර ගත යුතු අතර අත් වැසුම් භාවිත කිරීමටත් කටයුතු කිරීම වැදගත් වේ.
  • කාර්යාලය තුළ මුදල් ගනුදෙනු සිදුකිරීම හා ලිපි ගොනු භාවිත කරන්නේ නම් එම කාර්යයෙන් පසු විෂබීජනාශක දියර යොදා අත් සේදීමත්, කාර්යාලයේ රැඳී සිටින කාලය තුළ නිතර නිතර අත් සේදීමත් ඔබව වෛරසයෙන් ආරක්ෂා වීමට හේතු වේ.
  • එමෙන්ම, කාර්යාලයේදී තමන්ගේ භාවිතයට පමණක් කෝප්පයක් හා පිඟානක් භාවිත කිරීමට වගබලා ගැනීමද අනිවාර්ය කරුණකි.
  • ආහාර ගැනීමේදීත් දුරස්ථභාවය රැක ගතයුතු වන අතර තනිවම ආහාර ගැනීම වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට රුකුලක් වනු ඇති.
  • කාර්යාල රැස්වීම් පැවැත්වීමේදීත් දුරස්ථභාවය රැකගනිමින් එය සිදු කිරීමට අමතක නොකළ යුතුයි.
  • කාර්යාලයෙන් පසු නැවත නිවසට පැමිණීමට පෙර ඔබ අත සේදීමත් නැවත විෂබීජහරණ කුටියට ඇතුල්වී ඇඳුම් සහ ශරීරය විෂබීජහරණයට ලක්කර ගැනීම වඩාත් සුදුසු වේ.
  • එමෙන්ම, නිවසට ඇතුල්වීමට පෙර පාවහන් පිටතින් ගළවා ඇඟ පිරිසිදු කරගැනීමෙන් පසු නිවස තුළට ඇතුල් වීමෙන් කොවිඩ් 19 වෛරසයෙන් ඔබත් ඔබේ පවුලේ සාමාජිකයන්ද ආරක්ෂා කර ගත හැකියි.
  • ඔබ, මිතුරන් කිහිපදෙනෙකු සමග තාවකාලික නවාතැනක වෙසෙනවා නම් එම කාමරය තුළත් මෙලෙස දුරස්ථභාවය රැකගනිමින් කටයුතු කිරීමට වගබලා ගැනීම වැදගත්ය.

මූලාශ්‍රය - දිවයින

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top