May 16, 2020

හඩ්සන් නැවත SLBC සභාපති පුටුවට!: සේවකයින්ට මැයි පඩි බාගයයි Featured

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඇතිවී ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මැයි මාසයේදී එහි සේවකයින්ට වැටුපෙන් බාගයක් ගෙවීමට සැලැසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් එහි සභාපති ජගත් වික්‍රමසිංහ මහතා හා එහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉහල සේවකයන් හා වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

ගුවන් විදුලියේ වැටුප් ගෙවීමට පමණක් රුපියල් මිලියන 47ක් පමණ වැය වන බව පැවසේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැයි මාසයේ වියදම රුපියල් මිලියන 107ක් බවද පැවසේ. එහි සාමාන්‍ය මාසික වියදම වන මිලියන 87 මේ මාසයේදී ඉක්මවා ඇති බවද වාර්තා වේ.

එසේ වියදම වැඩිවී ඇත්තේ ගුවන් විදුලියෙන් විශ්‍රාමගිය කිහිපදෙනෙකුට පාරිතෝෂික ගෙවීමට සිදුවීමෙන් බවද පැවසේ.

ජගත් හා චන්ද්‍රපාල අසාර්ථකවීම

ගුවන් විදුලියේ සභාපතිවරයා හා එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ආයතනයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වඩා දේශපාලන අවශ්‍යතා සඳහා මුල් තැන දෙමින් කටයුතු කිරීම අදාළ ආර්ථික කඩා වැටීමට ප්‍රධාන හේතුවන බව එහි සේවකයෝ පවසති.

මේ අතර, එජාප ආණ්ඩු සමයේදී වෙළෙඳ අංශයෙන් ලද ආදායම මිලියන 40 ඉක්මවා ඇතත්, පසුගිය මාසයේ දී එහි වෙළඳ අංශය උපයා ඇත්තේ මිලියන 13ක ආදායමක් පමණක් බවද පැවසේ.

ඒ අතර මාසිකව මභා භාණ්ඩාගාරයෙන් ගුවන් විදුලිය නඩත්තු කිරීමට රුපියල් මිලියන 30ක් ලබාදෙනු ලබයි.

පඩි කැපුවොත් සේවකයෝ හාමතේ

ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරනු ලබන සේවකයන්ගෙන් වැඩි පිරිසක් ඔවුන්ගේ වැටුපෙන් 60% ක ප්‍රමාණයද ඉක්මවා විවිධ ආයතනවලින් ණය ලබාගෙන ඇති බවත්, එසේ වැටුපෙන් බාගයක් කැපුවහොත් ඔවුන්ට වැටුපෙන් කිසිවක් ඉතිරි නොවන බවද වාර්තා වේ.

ස්ථිර හා කොන්ත්‍රාත් සේවකයන් 842කට ආසන්න පිරිසක් ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරනු ලබන බව පැවසේ.

මේ අතරින් කොන්ත්‍රාත් සේවකයන් ලෙස සේවය කරනු ලබන්නේ 100 දෙනෙකුට ආසන්න පිරිසක් බවද වාර්තා වේ.

පොහොට්ටු වෘත්තීය සමිතියේ අපූරු විසදුම

මේ අතර, මේ ගැටලුවට විසඳුමක් ලෙස පොට්ටු පක්ෂයට සම්බන්ධ වෘත්තීය සිමිතිය විසින් කොන්ත්‍රාත් පදනමේ සිටින සියලු සේවකයන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බවද ගුවන් විදුලි සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා නැවත වරක් ගුවන් විදුලියේ සභාපති ධූරයට පත් කිරීමට ද වෘත්තීය සමිතිවල මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව මේ අතර එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හතලිස් දහසේ පඩියට ගත් Consultant ලා අට

මේ අතර, වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව ගුවන් විදුලි සංස්ථාවේ උපදේශක තනතුරු සඳහා රුපියල් 40,000 වැටුපට 8දෙනෙකු බඳවාගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

ගුවන් විදුලියේ ඉංජිනේරු අංශයට පත්කර ඇති උපදේශකයාට මේවන විට එම ඉංජිනේරු අංශයෙන් දැඩි විරෝධක් එල්ලවී ඇති අතර එසේම ගුවන් විදුලියේ වැඩසටහන් අංශයේ උපදේශක ලෙස පත්කර ඇත්තේ පෞද්ගලික නාලිකාවක අසාර්ථක වී ඉවත් කරන ලද අයකු බවද පැවසේ.

සබැඳි පුවත්

SLBC යට අධ්‍යක්ෂ ජනරාල්ලා 2යි - එක් අයෙක් චෝදනාලත් චන්ද්‍රපාල

SLBC යේ පොහොට්ටු සභාපති - ඇමති බන්දුල සමග ගැටෙයි

SLBC සභාපති චූලා, අධ්‍යක්ෂ ජනරාල් ඉන්දික

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top