May 21, 2020

සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් “කොරෝනා" බඩු ගැනීමේ ජාවාරමක් කරගෙන Featured

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු Covid-19 ව්‍යාප්තියට මුවා වී හදිසි මිලදී ගැනීම් ලෙස පෙන්වමින් මිලියන ගණන් වටිනා උපකරණ ගෙන්වීමේ ඡාවාරමක් සම්බන්ධ තොරතුරු මේවන විට හෙළිව තිබේ.

මෙහි ආසන්නතම සිද්ධිය වාර්තා වී ඇත්තේ අංගොඩ අයි.ඩී.එච්. (IDH) රෝහලෙනි.

ඒ රෝහල් බලධාරීන් හා වෛද්‍යවරුන් ගේ අවශ්‍යතා විමසීමකින් තොරව රැගෙන ආ වෛද්‍ය උපකරණ අතරේ වූ ජංගම සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක්. අයි.ඩී.එච් රෝහලට භාරදීමට ගත් උත්සාහය රෝහල් බලධාරීන් එයට විරෝධය දක්වා ව්‍යර්ථ කිරීම මගිනි.

අයි.ඩී.එච්. රෝහලට සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් ඉල්ලා එය ස්ථාපිත කිරීමට ගොඩනැගිලි සකසා තිබියදී කිසිදු පාර්ශ්වයකින් විමසීමක් නොකර හදිසියේ මෙරටට ගෙන් වූ අදාළ ජංගම සී.ටී. ස්කෑනරය සහිත කන්ටේනරය එම රෝහල වෙත එවා තිබූ බව පැවසේ.

මේ හේතුවෙන් ප්‍රතික්ෂේප වූ ජංගම සී.ටී. ස්කෑනරය පළාත් සභා රෝහලක් වූ හෝමාගම රෝහලට පෙරේදා (19) වන විට රැගෙන ගොස් ඇතත් එම රෝහලේ එය සවි කිරීමට අවම යටිතල පහසුකම්වත් නොතිබුණු නිසා එම ස්කෑනරය අඩංගු කන්ටේනරය රෝහල් භූමියේ රඳවා තබා ඇතැයි ද පැවසේ.

චීන ණය ආධාර යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනත් උපකරණ ලබාගන්නා ව්‍යාපෘතියකින් හදිසි මිලදී ගැනීමක් ලෙස රුපියල් මිලියන ගණනක් වටිනා ජංගම සී.ටී. ස්කෑනරය ලබාගෙන ඇති බවත්, මෙරටට ජංගම සී.ටී. ස්කෑනරයක් ගත් පළමු අවස්ථාව මෙය බවත් සෞඛ්‍ය අංශවලින් වාර්තා වේ.

සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ සී.ටී. ස්කෑනර් යන්ත්‍ර මගින් ලබා ගන්නා සේවාව නිසි අයුරින් ජංගම සී.ටී. ස්කෑනරයකින් ලබාගත නොහැකි බවයි.

මීට අමතරව කොවිඩ් වසංගතය හමුවේ රෝහල්වලට සවි කිරීමට යැයි කියමින් රුපියල් මිලියන 300ක් වටිනා වායු පිරිසුදු කරන යන්ත්‍ර (Air Purifier) 300ක් රෝහල්වලින් ඉල්ලීමක් නොමැතිව මිලදී ගැනීමටද සැලසුම් කර තිබූ බවද මේවන විට හෙළිව තිබේ.

මෙයට ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍යවරුන් විරෝධය පා ඇතත් මෙම උපකරණ මිලදී ගැනීමට මූලික කටයුතු යෙදූ නිලධාරින්ගේ හිතවත් සමාගමකට ටෙන්ඩරය දිය හැකි අයුරින් පිරිවිතර සකසා ඇතැයි ද එහිදී අනාවරණය වී ඇත.

රෝහල්වලින් ඉල්ලීම් කළ පසු උපකරණ මිලදී ගැනීම සාමාන්‍යයෙන් සිදු වුවත් මෙවර උපකරණ සඳහා මිල කැඳවීමෙන් පසුව රෝහල්වලට උපකරණ අවශ්‍ය නම් දැනුම් දෙන ලෙස දැන්වීමක් කර ඇති බවද වාර්තා වේ.

මෙම උපකරණ සමග Covid-19 රෝගීන් සඳහා තැනින් තැනට ගෙනයා හැකි එක්ස්රේ යන්ත්‍ර 24ක් මිලදී ගැනීමටද උත්සාහ කර ඇතත් විකිරණවේදීන් ඊට විරෝධය පළ කර ඇත. 

කොවිඩ් පාලනයට හදිසි මිලදී ගැනීම් මුවාවෙන් මෙම උපකරණ මිලදී ගැනීමට යන අතරේ රුධිර කාන්දුකරණ යන්ත්‍ර හතරක් හදිසියේ මිලදී ගැනීමට කළ සැලසුමක්ද අනාවරණය වී තිබේ.

මූලාශ්‍රය - අරුණ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top