May 26, 2020

බැසිල්ට එරෙහි සාක්ෂි විභාගය සැප්තැම්බර් දක්වා කල් යයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 29 වැනිදා කැඳවන ලෙස අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් නියෝග කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර  ප්‍රධානය  කිරීම තුළින් රුපියල් මිලියන 2292 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.  

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා, එම අමාත්‍යාංශය හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම  දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු වන බන්දුල තිලකසිරි යන අය නම් කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top