May 26, 2020

අවසන් වසර වෛද්‍ය සිසුන්ට සරසවි ඇරඹේ

සියලුම විශ්වවිද්‍යාලයන් හි වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන් සඳහා ලබන මස 15 වැනිදා සිට විශ්වවිද්‍යාල නැවත විවෘත කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

විශ්වවිද්‍යාල කටයුතු සම්බන්ධයෙන් අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව නිවේදනය කෙරුණි.

මෙහිදී අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, විභාග පැවැත්විම සඳහා අවසන් වසර සිසුන්ට වෛද්‍ය පීඨ විවෘත කිරීමට තීරණය කළ බවයි.

නේවාසිකාගාර වෙන් කිරීමේදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත එක් වෛද්‍ය සිසුවෙකුට එක් කාමරයක් බැගින් වෙන් කරන බවත් ඔහු සඳහන් කළේය. එසේ ම ඔවුන් සති දෙකක  නිරෝධායන කාලසීමාවකට යොමු කෙරෙන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

වෛද්‍ය පීඨවල අනුගමනය කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වය මත අනිකුත් පීඨවල අවසන් වසර වල අධ්‍යයන කටයුතු ඉදිරියේ දී අදියරෙන් අදියරට ආරම්භ කිරීමට බලාපොරෝත්තු වන බව ද අමරතුංග මහතා පැවසීය.

මේ අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුලු විශ්ව විද්‍යාල නියෝජනය කරමින් උපකුලපතිවරු, මහාචාර්යවරු, ආචාර්යවරු පිරිසක් එක් වූහ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top