May 28, 2020

සහල් මිල හෙල්ලුනේ ඇයි? - "සිල්ගන්නයි දඩමස් කන්නයි දෙකක් බෑ” Featured

සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.ඒ අනුව රුපියල් 90ක් ලෙස පැවති නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 96ක් සහ සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් දක්වා ඉහළ දමා ඇත.

අදාළ උපරිම සිල්ලර මිල නියම කිරීමට අනූව කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙස දක්වා ඇත.

"සිල්ගන්නයි දඩමස් කන්නයි දෙකක් බෑ” - රංජිත් විතානගේ

සහල් මාෆියාව අහෝසි කළ හැකිදැයි ශ්‍රී ලංකා මිරර් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සහල් මාෆියාව අවසන් කිරීමට 1971 අංක 14 පනත සක්‍රිය කළේ නම් ඉතා පහසුවෙන් කළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිඛිතව දැනුවත් කළ බවත් ඔහු කියා සිටියේය.

අදාළ පනත මගින් වී අලෙවි මණ්ඩලය ශක්තිමත් වන බවත්, එසේ වූයේ නම් කිසිවකුට වී තොග තබා ගැනීමට නොහැකි වනු ඇති බවත්, ඒ සඳහා බලපත්‍රයක් ලබාගතයුතු බවත් රංජිත් මහතා පෙන්වා දුන්නේය.

සිල් ගන්නයි දඩමස් කන්නයි දෙකක් බැරි බවද කී ඒ මහතා මිලියන 220ක් වන පාරිභෝගිකයා නොසලකා හරින්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට උවුවද ඔවුන් පෙළ ගැස්සවීමට තමා පසුබල නොවන බවද ඔහු කියා සිටියේය.

කෙසේවුවද, මෙසේ මිල ඉහල දැමීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන එල්ලවී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමාජ මාධ්‍ය අධ්‍යක්ෂ සමීර ද සිල්වා මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සහල් වැඩිවීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විවේචනය කර තිබේ. ඔහු මේවන විට ද හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබයි.

SameeraFB 850px

මේ අතර, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ “හැමදාම ආණ්ඩුවට කලින් හාල් පාලන මිල කිව්වෙ ඩඩ්ලි අදත් එහෙමයි. අපි හිත හදාගමු.” යනුවෙනි.

කෙසේවුවද, සහල් මිල මෙසේ ඉහළ දැමීමට රජය තීරණය කර ඇත්තේ ජනාධිපති, අගමැති, කෘෂිකර්ම අමාත්‍යවරයා සහ මහා පරිමාන මෝල් හිමියන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව බව මාධ්‍ය වාර්තා කරතිබේ.

‍මේ අතර, පසුගිය දින කිහිපය තුළ සහල් මිල සම්බන්ධයෙන් මහාපරිමාණ මෝල් හිමියන් සහ රජය අතර මතගැටුමක් සිදුවිය.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාධ්‍යවේදීන් පිරිවරා ගෙන, පසුගිය 23 වැනිදා සවස පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ප්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් වැටලිමට ද කටයුතු කටයුතු කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන්ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙසේ අදහස් දක්වා තිබිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top