May 28, 2020

නාවිකයකුට කොරෝනා : ගෆූර් බිල්ඩිම 200ක් සමඟ හුදෙකලා කරයි Featured

Covid-19 වෛරසය ආසාදනය වූ රෝගියෙක් වාර්තා වීමත් සමග කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි "ගෆුර්" ගොඩනැගිල්ල සහ එහි සිටි 200 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සම්පුර්ණයෙන්ම හුදකලා කිරීමට කටයතු යොදා තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා "නෙත් නිවුස්" වෙත පවසා ඇත්තේ එම ගොඩනැගිල්ලේ රඳවා සිටි නාවික හමුදා භට පිරිසෙන් එක් සාමාජිකයෙක්ට Covid-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බවයි.

එම ගොඩනැගිල්ලේ සිටි 200 කට ආසන්න නාවික හමුදා සාමාජිකයින් එහිදීම නිරෝධායනයට ලක් කිරිමට අවශ්‍ය කටයුතු අරඹා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටී.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ එම ගොඩනැගිල්ලේ රඳවා සිටියේ වැලිසර නාවික හමුදා කඳවුරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට යොදා ගනු ලැබූ සාමාජිකයින් බවයි.

හුදෙකලා කරනු ලැබූ වැලිසර නාවික හමුදා කඳවුර සහ එහි රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබූ වැලිසර රෝහලේ අවශ්‍යතා සැපයිම සඳහා යොදා ගනු ලැබූ මෙම නාවික හමුදා භට පිරිස බාහිර සමාජය සමග මිශ්‍ර නොවන අයුරින් ආරක්ෂා සහිතව එම ගොඩනැගිල්ලේ රඳවා සිටින බව ඔහු කියා සිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top