May 29, 2020

මහින්දගේ යෝජනාවට එකඟයි - එහෙනම් බස් ගාස්තු වැඩි කරන්න Featured

ආසන ගණනට පමණක් බස් රථවල මගීන් ගෙනයාම නීතියක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවහොත් පෞද්ගලික බස් කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටෙනු ඇති බව පෞද්ගලික බස් රථ හිමියන් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ආසන ගණනට පමණක් බස් රථවල මගීන් ගෙනයාම නීතියක් ලෙස පැනවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට සංකල්පයක් ලෙස එකඟ වන බවය. 

එහෙත් එම යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට නම් විකල්ප ගාස්තු ක‍්‍රමයක් හඳුන්වා දිය යුතුව ඇති බව ඒ මහතා යෝජනා කළේය.

බස් කර්මාන්තයේ විසඳාගත යුතුව ඇති තවත් ප‍්‍රායෝගික ගැටලූ කිහිපයක්ම ඔවුන්ට ඇති බව පෞද්ගලික බස් රථ හිමියන් පවසයි.

ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම නීතියක් ලෙස පනවනවා  

බස් රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම ඉදිරියේදී නීතියක් ලෙස පනවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැවසීය. 

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පවසා ඇත.

ශ්‍රී ලංගම බස් රථවලටත් පෞද්ගලික බස් රථවලටත් මගීන් ගෙන යාමට මේ දිනවල අවසර දී ඇත්තේ ආසන ගණනට පමණයි. කොවිඞ් 19 වසංගතය සැලකිල්ලට ගෙන පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමේ පියවරක් ලෙස සෞඛ්‍ය උපදෙස් අනුව එම තීරණය අරං තියෙනවා. ආසනයක වාඩිවෙලා ආරක්ෂිතව ගමන් කිරීමට ප්‍රවේශ පත්‍රයක් මිලට ගන්නා සෑම මගියෙකුටම තිබිය යුතු අයිතියක්. මෙතෙක් නොසලකා හැර තිබූ එම මගී අයිතිය ඉදිරියේදී තහවුරු කරනවා"

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top