May 29, 2020

සජිත් එක්ක ගිය 100 කගේ සාමාජිකත්වය අත්හිටුවන්න තීරණයක්

සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමගි ජන බලවේගය පක්ෂයෙන් නාම යෝජනා භාර දුන් පිරිස ඇතුලු 100 කට ආසන්න පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවී තිබේ.

ඒ අද (29) පෙරවරුවේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙම පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමටද නියමිත බවද වාර්තා වේ.

ඉදිරි මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ලබා දුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 100 කට ආසන්න පිරිසකගේ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා තීරණය කළ අතර ඊට අදාළ ලිපි එම නියෝජිතයින් වෙත යොමුකර තිබුණි.

සමගි ජන බලවේගය හැදුනේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට  

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ සමගි ජන බලවේගය නිර්මාණය වූයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් අනුව බව හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර සාමාජිකයින් තම කණ්ඩායම සමඟ සිටීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සුළුතරයකට ඒ පිළිබද තීරණයක් ගත නොහැකි බවයි.

මෙහෙ අය එහෙට යනවාද නැත්නම් එහෙ අය මෙහෙට එනවාද යන්න ඉතා නුදුරේදීම දැක ගත හැකි වන බව මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top