Jun 02, 2020

නිශ්ශංකව හිටපු නාවික හමුදාපති මරන්න හදලා: ජනපති සිරිසේන සමාව අරන් Featured

යහපාලන ආණ්ඩුව සමයේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන හිටපු අමාත්‍යවරයකු සමඟ එක්ව තමන් ඝාතනය කිරීමට උත්සාහ කළ බව ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (01) දෙවැනි දිනටත් සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.

හිටපු නාවික හමුදාපතිවරයා ඔහුගේ තනතුරු ඉහළ දමා ගැනීම සඳහා එලෙස හිටපු ඇමැතිවරයකු සමඟ එක්ව 2015 දෙසැම්බර් මස 31 වැනිදා ඔහු යටතේ සිටි පුද්ගලයන් දෙදෙනකු මිලිමීටර් 9 පිස්තෝල සමඟ තම නිවෙසට ඒවා තිබූ බවත් තමාගේ නිවෙසේ සිටි ආරක්ෂක නිලධාරීන් නිසා තම ජීවිතයට කරදරයක් නොවූ බවත් නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළේය.

සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක හා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත කොමිෂන් සභාව හමුවේ මෙම සාක්ෂි විමසීම සිදුකෙරිණි.

ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා පැමිණිල්ල වෙනුවෙන් කොමිසම හමුවේ සාක්ෂි මෙහෙයවීය.

අපේ රටේ කාලකන්ති දේශපාලනය මාව බිත්තියට හේත්තු කළා - සිරිසේන

“තමා එවක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සියලු තොරතුරු පවසා ඇවන්ගාඩ් ගිවිසුම නැවත තමාට ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් ඒ වන තෙක් සිදු වී ඇති පාඩුව පිළිබඳ පැවැසූ අවස්ථාවේදී අපේ රටේ කාලකණ්ණි දේශපාලනය මාව බිත්තියට හේත්තු කළා. මම ඔබගෙන් සමාව ඉල්ලා සිටිනවා” යැයි පැවැසූ බව නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

එසේම රජයට ඇවන්ට්ගාඩ් සමාගම මඟින් රුපියල් මිලියන 11,700 මුදලක් අවුරුදු දෙකක් ඇතුළත උපයා දුන් නමුත් රජයට පාඩු කළා යැයි කියා තමාට අල්ලස් කොමිසම විසින් නඩු පැවරූ බවත් නාවික හමුදාව මෙම සමාගම අත්පත් කරගත් පසුව අවුරුදු තුනක් ඇතුළත රුපියල් මිලියන 1,800 ප්‍රමාණයක් උපයා ඇති බවත් නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ පැවැසීය.

තවත් අවස්ථාවකදී නයිජීරියානු හමුදාව පුහුණු කිරීම සඳහා තම ඇවන්ට්ගාඩ් සමාගම ගිවිසුම් අස්සන් කළ නමුත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යන අය විසින් මා නයිජීරියාවේ බොකොහරාම් යන දරුණු ත්‍රස්තවාදී කණ්ඩායම පුහුණු කිරීමට යන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශවලින් අනතුරුව නයිජීරියානු රජය එම ගිවිසුම් අවලංගු කර නයිජීරියානු තානාපති කාර්යාලයද වසා දැමූ බව ඒ මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

ඉකුත් 2015 වසරේදී යහපාලන ආණ්ඩුව පත්වීමත් සමඟ නීත්‍යනුකූල නොවන බව සඳහන් කරමින් නාවික හමුදාව භාරයට ගත් ඇවන්ට්ගාඩ් නෞකාවේ කටයුතු පෙර පරිදිම නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුවූ බව හෙතෙම සඳහන් කළේය.

තමා හා හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරදකරුවන් කර සිරගත කිරීම සඳහා හිටපු අමාත්‍ය එවකට සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න යන අය විවිධ අදහස් මාධ්‍ය හමුවේ දැක්වූ බවද ඔහුගේ ලේකම්වරයකු තමන්ට කතා කර ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සඳහා බොරු සාක්ෂි ලබාදුනහොත් තමාට නඩු පවරන්නේ නැති බව ප්‍රකාශ කළ අවස්ථාවේදී එයට තමා එකඟ නොවූ බවත් නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවැසීය.

ඉන් අනතුරුව තමන් බොහෝ සෙයින් දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බවද ඒ මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

ඇවන්ට්ගාඩ් නෞකාව අබිරහස් නෞකාවක් ලෙස අත්අඩංගුවට ගත්තද එයට පෙර හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතාගේ අනුදැනුම මත මුහුදු ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබීමේ පුහුණුව සඳහා කටුකුරුන්ද ස්ථානයේ කටයුතු කළ බවත් සියලු කටයුතු නීත්‍යනුකූල ලෙස කර තිබියදී යහපාලන ආණ්ඩුව විසින් නීත්‍යනුකූල නොවන බව සඳහන් කරමින් නඩු පැවැරීමට උත්සාහ කළ බව නිශ්ශංක සේනාධිපති මහතා පැවැසීය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ 2015 ඔක්තෝබර් මස 20 වැනිදා රජය විසින් ඇවන්ට්ගාඩ් සමාගම සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුම මඟින් ව්‍යාපෘති කිහිපයක් සඳහා රජය විසින් 2019 ජනවාරි 26 දක්වා අවි ආයුධ ලබාදී ඇති බවත් එම කාලසීමාව තුළ පත් වූ ආරක්ෂක ලේකම්වරු පස්දෙනකු යටතේ ඇවන්ට්ගාඩ් සමාගම පවත්වාගෙන ගිය බවත් නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

එමෙන්ම තමාව 2015 වසරේදී අල්ලස් කොමිසම හමුවේ කැඳවූ බවද එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක යන දෙදෙනා තමාගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් එහිදී මෙම ඇවන්ට්ගාඩ් සමාගමේ කටයුතු නීත්‍යනුකූල වන බව ඔවුන් තමාට පැවැසූ බවත් නිශ්ශංක සේනාධිපති මහතා පැවැසීය.

එම සිද්ධිය වීමෙන් මාස 06කට පමණ පසුව මීට සම්බන්ධ හිටපු ඇමැතිවරයා මාධ්‍ය මඟින් නැවත මේ පිළිබඳ ප්‍රකාශ කිරීම හේතුවෙන් නැවතත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත තමාව කැඳවූ බවත් එහිදී සිටි විමර්ශන නිලධාරීන් තමාට බැන තර්ජන කරමින් තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබාදී තිබේදැයි පරීක්ෂණ කිරීමට තමාගේ ගිණුම් පරීක්ෂා කළ අතර තමා යටතේ සේවය කළ ගණකාධිකාරිවරුන් ගෙන්වා ප්‍රශ්න කළ බවද ඒ මහතා සාක්කි දෙමින් පැවැසීය.

තමන් අද වන තෙක් මහින්ද රාජපක්ෂ මහතා වෙත මුදල් ලබාදී නොමැති බව සඳහන් කළ නිශ්ශංක සේනාධිපති මහතා තමා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 200 මුදල් පිරවූ ගෝණියක් ලබාදුන් බවට දිවුරුම් ප්‍රකාශයක් ලබාදුනහොත් තමාව නිදහස් කරන බව එවක අල්ලස් කොමිසමේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර යන අය පැවැසූ බවත් තමා එය ප්‍රතික්ෂේප කළ බවත් වැඩිදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

පසුව එම නිලධාරියා තමා හමුවේ පැමිණ ‘’මට කරන්න දෙයක් නෑ සර්. ඒක දිල්රුක්ෂි මැඩම් කියපු දෙයක් තමයි‘’ යනුවෙන් පැවැසූ බව නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

පසුව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස් මහත්මිය ද තමා සමඟ දුරකථනයෙන් මේ පිළිබඳව කතා කර බොහෝ දුක් වූ බව නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ පැවැසීය.

වැඩිදුර සාක්ෂි විමසීම ලබන 03 වැනිදා දක්වා කල් තැබීමට කොමිසම නියම කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top