Jun 02, 2020

පන්සලේ T-56 තියාගෙන සිටි සුමන හිමි ජීවිතාන්තය තෙක් හිරේට

නීති විරෝධී අන්දමින් ටී.56 ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ 210ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (01) නියෝග කළේය.

විහාරාධිපති හිමියන් සතුව ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ තොගයක් ඇති බවට ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ හදිසි සෝදිසියකදී එම ගිනිඅවි හා පතරොම් අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

2010 ජනාධිපතිවරණය පැවැති කාලවකවානුව තුළ සිදුකළ මෙම වැටලීමේදී ඉහතකී විත්තිකාර සුමන හිමියන්ට අමතරව එහි වැඩ සිටි තවත් හිමිනමක් හා දෙමළ ජාතිකයන් තිදෙනකු ඇතුළු සිවු දෙනකුද මෙකී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව එම සැකකරුවන් සිවු දෙනා නඩුව විභාගයට ගත් අතරතුරදී අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර තිබිණි. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top