Jun 02, 2020

පොලිසියයි පොහොට්ටුවයි කොළඹ ජනයාගේ පෞද්ගලික දත්ත එකතු කරලා

කොළඹ නගරය සහ එහි තදාසන්න ප්‍රදේශවල සිටින පදිංචිකරුවන්ගේ පෞද්ගලික දත්ත රැස්කිරීමට පොලිසිය සමග හඳුනා නොගත් සිවිල් වැසියන් විසින් ගෙයින් ගෙට ගොස් සිදුකරන සමීක්ෂණයක් සම්බන්ධයෙන් ගැටළු මතුවී ඇතැයි වාර්තා වේ.

බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙම ප්‍රදේශවල සිටින තාවකාලික පදිංචිකරුවන් සොයා ගැනීම සඳහා මෙම සමීක්ෂණය කළ බවයි.

ඡන්ද නාම ලේඛනයේ නොමැති සියල්ලන්ම මෙම ලැයිස්තුවට ඇතුළත් වනු ඇති බවත්, නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාර, මත්ද්‍රව්‍ය, පාතාල ක්‍රියාකාරකම් හඳුනා ගැනීම සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම තොරතුරු ඉවහල් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

කෙසේවෙතත්, මෙම තොරතුරු ගැටළුකාරී අන්දමට සිදුවන බව වාර්තා වේ.

'ඉකොනොමි නෙක්ස්ට්' වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙස තොරතුරු රැස්කිරීමේ කර්තව්‍යයට පොලිසිය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ද එක්ව සිටි බව ඇතැම් සිවිල් පදිංචිකරුවන් පවසන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ලෙස ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් මෙම දත්ත එක්රැස් කරමින් සිටින බව පිටකෝට්ටේ පදිංචිකරුවෙකු වන පද්මසේන දිසානායක මහතා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කර ඇතැයි එහි දැක්වේ.

මෙම දත්ත ඉල්ලා සිටින්නේ ජනාධිපති ආරක්ෂක අංශය විසින් බව මෙම ක්‍රියාකාරිකයා සමඟ පැමිණි පොලිස් නිලධාරියා තමාට පැවසූ බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් 'ඉකොනොමි නෙක්ස්ට්' විසින් පොලිස් මාධ්‍ය අංශය අමතූ විටදී ඔවුන් පවසා ඇත්තේ මෙලෙස රැස්කරන්නේ තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු බවයි.

කෙසේ වෙතත්, ස්ථිර පදිංචිකරුවන්ගේ දත්ත ද එක්රැස් වෙමින් පවතින බව 'ඉකොනොමි නෙක්ස්ට්' විසින් පැවසූ විටදී පොලිසිය පෙරළා ප්‍රශ්ණ කර තිබුණේ “එම තොරතුරු ලබා දුන්නේ ඇයි” ද  යනුවෙනි.

'ඉකොනොමි නෙක්ස්ට්' විසින් වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙසේය :

නුගේගොඩ අසල්වැසි ප්‍රදේශවල බොහෝ දෙනෙක් වාර්තා කර තිබුණේ ස්ථිර පදිංචිකරුවන්ගෙන් ද දත්ත ඉල්ලා ඇති බවත් පොලිසිය සමඟ පැමිණි සිවිල් වැසියන් විසින් මෙම දත්ත රැස්කළ බවත්ය.

අප හා සම්බන්ධ වූ පවුල් දෙකක් පවසා සිටියේ ඔවුන් සිංහල ද දෙමළ ද යන්න පිළිබඳවද පොලිසිය තමන්ගෙන් විමසා සිටි බවයි.

පිටකෝට්ටේ දිසානායක මහතා ගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ පැය 24 කට පෙර ලබාදුන් තොරතුරු යළි ලබාදෙන මෙන් මැයි 31 වනදා පෙරවරුවේදී තවත් කොස්තාපල්වරුන් තිදෙනෙකු පැමිණ ඉල්ලා සිටි බවයි. තමන් ඔවුන් ජනාධිපති ආරක්ෂක අංශයට අයත් බව පැවසූ ඔවුන්, අවසන් වරට පිරවූ ආකෘති පත්‍රය ලබාදීමෙන් පසුව කිසිඳු වෙනස්කමක් සිදුවූයේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට අවශ්‍ය බවද කියා සිටි බව දිසානායක මහතා ගේ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ.

“තවත් කිසිදු තොරතුරක් ලබාදීමට මා ආචාරශීලීව එහෙත් තරයේ ප්‍රතික්ෂේප කළා. මේ වන විටත් ගැටළු ගණනාවකට මුහුණදෙන මහජනතාවට හිරිහැර නොකරන මෙන් මා ඔවුන්ට පැවසුවා,” යැයි දිසානායක මහතා පවසා ඇත.

මේ පිළිබඳව සොයා බලා, දේශපාලන ක්‍රියාකාරීන් විසින් මහජනතාවගේ පෞද්ගලික තොරතුරු රැස් කිරීම නවත්වන ලෙසත්, තොරතුරු රැස්කිරීමට පොලිස් නිලධාරීන් යොදා ගැනීමට දේශපාලන පක්ෂවලට ඉඩ ලබානොදෙන ලෙසත් දිසානායක මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top