Jun 03, 2020

අශෝක් හා RS දඟර කම්බි ටොන් 22ක් විකිණීම තහනම්: හාඩ්වෙයාර් පරික්ෂාවට Featured

අශෝක් ස්ටීල් පුද්ගලික සමාගම (Ashok Steel Industries (Pvt) Ltd) හා ආර්.එස්.ස්ටීල් යකඩ බාර් නිෂ්පාදකයින් වන අයි.ඩබ්ලිව්.ඩබ්ලිව්. ස්ටීල් ඉන්ඩස්ට්‍රීස් (IWW Steel Industries (Pvt.) Ltd) හි ගබඩා දෙකක දඟර වානේ කම්බි ටොන් විසිදෙකක් ප්‍රමිතිය පරීක්ෂාවට ලක්කරන තුරු අලෙවි කිරීම අත්හිටුවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

වත්තල ප්‍රදේශයේ පිහිටි ගබඩා දෙකක මෙම කම්බි තොගය ගබඩා කර තිබී ඇත.

එස්.එල්.එස්. සහතික ලාංඡන සහිත මෙම දඟර වානේ කම්බි අදාළ ප්‍රමිතියට නොමැති බවට ලැබුණු පැමිණිල්ලක් විභාගයට ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ.

දිවයින පුරා පිහිටි දඟර වානේ කම්බි ගබඩා සහ වෙළෙඳසල් පරීක්ෂා කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

දඟර වානේ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමේදී ප්‍රධාන මිනුමක් ලෙස බර පරීක්ෂා කිරීම සිදුකරයි.

දඟර වානේ කම්බි මිලදී ගත් පසු මීටරයක් දිග කැබලි හයකට කපාගත් පසු බර එක සමාන විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රමිතියේ සඳහන් කර තිබේ.

අලෙවි කිරීම අත්හිටුවූ දඟර වානේ කම්බි ටොන් විසිදෙකක් පරීක්ෂණාගාරයකදී පරීක්ෂා කිරීමට නියමිතය.

දිවයින පුරා සියලුම වෙළෙඳසල්වල ඇති දඟර වානේ කම්බි පරීක්ෂාවට ලක්කර ඒ පිළිබඳ වාර්තා ලබන 12 වැනිදාට පෙර තමන්ට යොමු කරන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සියලුම විමර්ශන නිලධාරීන්ට දැනුම් දී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

මේ වංචාව සම්බන්ධයෙන් තොරතුරු රාශියක් ශ්‍රී ලංකා මිරර් හෙළිකරනු ලැබිණි.

සබැඳි පුවත්
අශෝක ස්ටීල් දඟර කම්බි ටොන් 14ක් විකිණීම අත්හිටුවයි: මීළඟට RS

අශෝක් ස්ටීල් හා RS ස්ටීල් කම්බි ලොවේ කම්බ හොරු?

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top