Jun 03, 2020

රෝසි පන්නන්න හදන එජාපයට මෑතකදී එක්වූ ප්‍රබලයා (වීඩියෝ) Featured

කිසිවෙකුටවත් තමාව එතරම් පහසුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පන්නා දැමිය නොහැකි බව කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මිය පවසයි.

මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඇය මේ බව පවසා සිටියාය.

ඇයව එජාප යෙන් පන්නා දැමීමේ කුමන්ත්‍රණයක් ඇතිදැයි විමසූ විට ඇය පිළිතුරු දී තිබුණේ මෙසේය :

"හැමදාමත් කුමන්ත්‍රණයක් පැවත්වුවා මාව පුළුවන්නම් තනතුරු වලින් අයින් කරන්නයි පක්ෂෙන් අයින් කරන්නයි... මාව එහෙම ලේසියෙන් පක්ෂයෙන් අයින් කරන්න බෑ කාටවත්... නායකතුමා නම් කවදාක්වත් එහෙම පක්ෂයෙන් අයින් කරන්න තැනකත් නෑ පක්ෂෙ එහෙම තීරණයක් අරගෙනත් නෑ...

මෑතකදී පක්ෂයට එක්වූ ඇතැමුන් හට එජාපයේ ප්‍රබලයන් පන්නා දැමීමේ විශාල වුවමනාවක් තිබෙන බවත්, තමා සැමදාමත් එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවක් බවත් ඇය පැවසීය.

"එහෙම අනිත් අය පැන්නුවාට මාව එහෙම ලේසියෙන් පන්නන්න බෑ," ඇය ප්‍රකාශ කළාය.

තවද, තමාගේ නගරාධිපති ධූරය අහෝසි කර ඇති බවට පළ වූ වාර්තාවලද කිසිඳු සත්‍යතාවයක් නොමැති බවද සේනානායක මහත්මිය පැවසීය.

කොළඹ නගරසභා මන්ත්‍රීන් ලෙස කටයුතු කරන පක්ෂ සාමාජිකයන් සිරිකොත දී රැස්වූ අවස්ථාවට සහභාගී නොවුනේ මන්දැයි ඇසූ විටදී ඇය පැවසුවේ මෙම රැස්වීම සඳහා මන්ත්‍රීවරුන් සූදානම් කරන මෙන් පක්ෂ නායකත්වය පැවසූවේ තමාට බවත්, එම වේලාවේදීම ඩෙංගු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග නගරාධිපතිවරුන්, සභාපතිවරුන් ඇතුළු බලධාරීන් හට විශේෂ හමුවක් පැවති බැවින් තමාට එම රැස්වීමට සහභාගී වීමට නොහැකි වූ බවයි.

තමා පසුව මේ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය දැනුවත් කළ බව ඇය පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top