Jun 04, 2020

ද ෆිනෑන්ස් වසා දැමීමට හේතුවූ ජගත් අල්විස්ගේ මගඩි! Featured

වසර 80ක් පැරණි ලංකාවේ පළමු මූල්‍ය සමාගම වන “ද ෆිනෑන්ස් සමාගම” වසා දැමීමට ව්‍යාපාරිකයකු හා පරිපාලකයකු වන ජගත් අල්විස් නැමැත්තාගේ ක්‍රියා කලාපයන් බලපා ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය චෝදනා එල්ල කර තිබේ.

එහි සභාපති රංජිත් විතානගේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් මේ හෙළිදරව්ව කර ඇත.

එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ බංකොළොත් ද ෆිනෑන්ස් ආයතනය විසින් සෙලින්කෝ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අනුබද්ධ ආයතන දෙකක් වන ICBT Campus සහ American National College (ANC) ආයතන වල වර්ෂ 2000 දී හා 2003 වර්ෂ වල ඉතා විශාල මුදලක් එම සමාගම් වල කොටස් වශයෙන් ආයෝජනය කර ඇති බවයි.

එම ආයතනයන් සහ එම ආයතනයන්හි මව් සමාගම වන C.E.G. Holdings හි සභාපති වන ජගත් අල්විස් මහතා විසින් ද ෆිනෑන්ස් සමාගමට වසර 10 ට අධික කාලයක් හිතා මතාම ලාභාංශ ගෙවීම පැහැර හැර එම ලාභාංශ තමාගේ පැවැත්ම ස්ථාපිත කර ගැනීමට සෙල්න්කො රක්‍ෂණ සමාගමට ගෙවා ඇති බව ඔහු පෙන්වා දී තිබේ.

එයට අමතරව ඔහු විසින් එම අධ්‍යාපන ආයතන දෙකේ කොටස් 2008 වර්ෂයේදී Ceylinco Education Group නමින් ආයතනයක් පිහිටුවා එම ආයතනයට යොමු කොට මාස 6 කට පසුව Golden Key ආයතනයේ කඩා වැටීමත් සමඟ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ නොවන ආයතනයක් බවට පෙන්වීමට කූඨ ලෙස C.E.G. Holding වශයෙන් නම වෙනස් කර ඇති බවට ද චෝදනා කර සිටී.

ඒ අනුව ද ෆිනෑන්ස් ආයතනයට සහ මෙයට සම්බන්ධ ආයතන කිසිවකුට ලාභාංශ ගෙවීම හිතා මතා පැහැර හැරීමට ජගත් අල්විස් මහතා කටයුතු කර ඇති බව පැවසේ.

අදාළ කරුණු සම්බන්ධයෙන් ඇමුණුම් ලෙස අගමැතිවරයාට පහත තොරතුරුද යොමුකර තිබේ.


එහි කොටස් කරුවන්ගේ ලැයිස්තුවේ ද ෆිනෑන්ස් සමාගමට පමණක් කොටස් ලක්‍ෂ 10 ක් ඇති බවට පෙන්වාදී තිබේ.

එසේම ජගත් අල්විස් නැමැත්තාගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 4ක මුදල් ප්‍රමාණයක් Golden Key තැන්පත් කරුවන්ට ගෙවීමට සිදුවී ඇති බවද අදාළ ලිපියේ දැක්වේ.

ජගත් අල්විස් නැමැත්තා සෙලින්කෝ රක්‍ෂණ සමාගමේ විශාල කොටස් හිමි කරුවෙකු බැවින් ඔහු වක්‍රාකාරයෙන් ද ෆිනෑන්ස් සමාගමට සහ අනෙකුත් සමාගමම්වලට ලැබියයුතු ලාභාංශ තමා වෙත ලබාගෙන ඇති බවට ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය හෙළිකර තිබේ.

ද ෆිනෑන්ස් සමාගම සතු බව කියන කොටස් මිලියනයේ වටිනාකම රුපියල් කෝටි 50 කට වැඩ වනු ඇති බවට ද පැවසේ.

මේ අතර, ජගත් අල්විස් නැමැත්තා ICBT Campus, American National College, Wycherley International College, Modern Montessori International, CEC Events, Netassist හා Chaks Capital (Pvt) Ltd යන ආයතන සඳහා ඔහුගේ පෞද්ගලික ධනය යොදවා ඇති බවට ද තොරතුරු අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් අප පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ තත්ත්වය හේතුවෙන් විශාල වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් මේ හෙළිදරව්ව කර ඇත.

Ranjith

මහ බැංකුවේ වගකීම රුපියල් ලක්ෂ 6කට පමණයි !

මේ අතර, මූල්‍ය ආයතනයන්හි මුදල් තැන්පත්කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 06ක් දක්වා පමණක් බවත්, මේ පිළිබඳවද අවධානය ඇතිව ජනතාව තම මුදල් තැන්පත් කළ යුතු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි පැවසීය.

කෙසේවුවද, ද ෆිනෑන්ස් සමාගමේ සියලු තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා දින සිට රුපියල් ලක්ෂ 6 බැගින් මුදල් ගෙවීම ආරම්භ කරන බවද ඔහු කීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පවතින මූල්‍ය සමාගම් කඩා වැටීම නිසා හෝ බලපත් අහෝසි වීම නිසා තැන්පත්කරුවන් රැසක් මූල්‍ය දුෂ්කරතා වලට මුහුණ දී ඇති අතර ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බවත් ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව තැන්පත්කරුවන් 93%කගේ පමණ ගැටළු විසඳෙන අතර වැඩිපුර මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ මුදල්ද ඉදිරියේදී ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.

මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මෙවැනි මූල්‍ය ආයතනයන් නිවැරදිව අධීක්ෂණය නොවීම නිසා එම ආයතන කඩා වැටීම සම්බන්ධයෙන් රජයේ විශාල විරෝධයක් මහ බැංකුවට පළ කළ බවද, ඉදිරියේදී මෙවන් තත්වයක් ඇති නොවන පරිදි මූල්‍ය සමාගම්හි විශ්වාසය ආරක්ෂා වන අයුරින් කටයුතු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ග්‍රාමීය ජනතාව තම මුදල් තැන්පත් කරන සමූපකාර සමිති පිළිබඳවද චෝදනා රැසක් ලැබී ඇති බවත් එම සමිති මහ බැංකුවේ අධීක්ෂණය යටතේ නොපවතින නමුත් ඉදිරියේදී ඒ පිළිබඳවද අවධානය යොමු කරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

ද ෆිනෑන්ස් සහ ඊ.ඒ.පී ආයතනය හැරුණු කොට අනෙකුත් මූල්‍ය ආයතනයන්හි කිසිදු ගැටළුවක් නැති බවත් පසුගිය කාලයේ මහ බැංකුවේ විශ්වාසනීයත්වයට විශාල හානි සිදු වූ බවත් සඳහන් කල සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වසංගත තත්වය නිසා මූල්‍ය අපහසුතාවයට පත් වී තිබුණත් ජනතාවට සහන ලබා දීම වෙනුවෙන් රජය විශාල කැපවීමක් සිදු කරන බව පැවසීය.

සබැඳි පුවත්
ද ෆිනෑන්ස් කම්මුතු කළේ ඇයි? : සේවකයෝ 362ක් පාරට දැම්මේ ඇයි?

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top