Jun 05, 2020

'ස්ට්‍රෝබෙරි ඡායා චන්ද්‍රග්‍රහණය' අද

මේ වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී 11.15 ට ආරම්භ වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරයි.

මෙම ග්‍රහණය ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර ලංකාවේ සම්මත වේලාවෙන් ජූනි 5 රාත්‍රී 11.15 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ලට) ඇතුළුවීමත් සමගම ග්‍රහණය ආරම්භ වේ. ග්‍රහණය අවසන් වනුයේ 6 දින අළුයම 2.34 ට ය. උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 6 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 54 ටය.

ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපයේ සහ ආසියාවේ රටවල් වැඩි කොටසකට, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව,පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය සහ ඇන්ටාක්ටිකාව වැනි ප්‍රදේශ වල රටවලට ද දිස්වනු ඇත.

සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය එක පෙළට පිහිටන විට චන්ද්‍රග්‍රහණයක් දිස් වන අතර, අද පැවැත්වෙන චන්ද්‍රග්‍රහණය ඡායා චන්ද්‍රග්‍රහණයක් (penumbral lunar eclipse) ලෙස හැඳින්වේ. ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවනුයේ සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සලර රේඛාවක නොපිහිටා, අසම්පූර්ණ ලෙස පෙලගැසී ඇති විට දී ය.

ඡායා චන්ද්‍රග්‍රහණයක දී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට (පුර්ණඡායා වට) ඇතුළු නොවන අතර චන්ද්‍රයා පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උපඡායාව) තුලින් පමණක් ගමන් කරන නිසා මෙම සුවිශේෂී ඡායා චන්ද්‍රග්‍රහණය අපටපූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින් වැසී නොපෙනේ. වස්තුවක් විසින් ඇති කරන සෙවනැල්ලක බාහිර, අර්ධ සෙවනැලි කොටස සරල වශයෙන් හැඳන්වෙන්නේ penumbra ලෙසයි.

අද පායන චන්ද්‍රයා ගේ තවත් විශේෂත්වයක් වන්නේ එය 'ස්ට්‍රෝබෙරි සඳක්' (strawberry moon) වීමයි. කෙසේවෙතත් මෙය 'ස්ට්‍රෝබෙරි සඳක්' ලෙස හැඳින්වෙන්නේ එහි පැහැය හෝ දෘෂ්‍යමය වශයෙන් දැකිය හැකි වෙනත් වෙනසක් නිසා නොවේ. උතුරු ඇමෙරිකාවේ ස්ට්‍රෝබෙරි සමය වන්නේ ජුනි මාසය වන අතර, ස්ට්‍රෝබෙරි අස්වැනු නෙළන සමයේ පායන මෙම සඳ 'ස්ට්‍රෝබෙරි සඳක්' ලෙස උතුරු ඇමෙරිකාවේ පැරැන්නෝ හඳුන්වා තිබේ.

අද සිදුවෙන චන්ද්‍රග්‍රහණය ස්ට්‍රෝබෙරි ඡායා චන්ද්‍රග්‍රහණය ලෙස හැඳින්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top