Feb 12, 2017

මානව හිම්කම් ඉටු නොවේ : GSP+ අනතුරේ! Featured

යුරෝපා සංගමය සංවර්ධනය වෙමින් පවතින රටවල ආනයන සඳහා පිරිනමන GSP+ තීරු බදු සහනය මෙරටට යළි ලබා ගැනීමට තිබෙන අවස්ථාව ශ්‍රී ලංකාවෙන් මඟ හැරෙන ලකුණු පහළ වී ඇත.

මෙම බදු සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් පිළිගෙන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් තහවුරු කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති 27 මෙරට ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුව ඇත.

මේ වෙනුවෙන් පසුගියදා ක්‍රියාකාරී සැලැස්මක් ද සකස් කළ නමුත් ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ ඇමැතිවරු කිහිප දෙනකු මෙම සැලැස්මෙහි වගන්ති ගණනාවකට විරෝධය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒ නැවත නැවත සංශෝධනය කිරීමට සිදු විය.

මේ තත්ත්වය මත යුරෝපා සංගමය අවසන් වශයෙන් ජාත්‍යන්තර සම්මුතීන් 11කට අයත් අයිතිවාසිකම් පමණක් හෝ ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇතත් එම සම්මුතීන් 11 සම්බන්ධයෙන් ද ඇමැතිවරුන්ගෙන් විරෝධයක් එල්ල වී ඇත.

ලිංගිකත්ව පදනමින් කෙරෙන වෙනස්කම් :

විශේෂයෙන් පුද්ගලයන්ගේ ලිංගිකත්වය පදනම් කරගෙන මෙරට සිදු වන වෙනස් කොට සැලකීම හා දණ්ඩනයට පැමිණවීම මානව විරෝධී බව ලොවම පිළිගෙන තිබිය දී ශ්‍රී ලංකාව තුළ ඒ ක්‍රියාත්මක වීමට අදාළ නෛතික ප්‍රතිපාදන ඉවත් කිරීම සිදු විය යුතු බව ජාත්‍යන්තර සම්මුති අනුව සිදු විය යුතුය.

ඒ අනුව වන ක්‍රියාකාරී සැලැස්ම මෙරට පාර්ලිමේන්තුව විසින් අනුමත කොට යුරෝපා සංගමයට දැන්විය යුතු බවට පසුගියදා යුරෝපා සංගමය විදේශ අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

එහෙත් එමඟින් සමලිංගිකත්වයට අවසර ලැබෙන්නේය යන පදනමින් ජනාධිපතිවරයා හා ඇමැතිවරු කිහිප දෙනකු ඊට එරෙහි වී ඇත.

මේ අනුව මෙම තීරු බදු සහනය ලබා ගැනීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම කැබිනට් මණ්ඩලයෙන් හෝ අනුමත කරගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

ආර්ථික අර්බුදය තීව්‍ර වීම:

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාව දැනට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර වීම සිදු වනු ඇත.

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් ලබන වසර සඳහා පමණක් පොලිය ලෙස රුපියල් බිලියන 780ක් ගෙවීමට සිදුව තිබෙන අතර ඇස්තමේන්තු කර තිබෙන ලෙස සියලු රජයේ ආදායම රුපියල් බිලියන 732 ඉක්මවන්නේ නැති බවත් වාර්තා වේ.

මේ අනුව GSP+ සහනය නොලැබී ගියහොත් ශ්‍රී ලංකාව ලබන වසර තුළ දී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට නියමිතය.

(ඩී. මංජුල කුමාර)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top