Jun 30, 2020

ඇවන්ගාඩ් නඩුවේ විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ  ඇතැම් චෝදනා ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් විත්තිය විසින් මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කර තිබේ.

ඒ අනුව නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස (2) වැනිදා ආරම්භ කරන බවද කෙසේ වෙතත් නඩුවේ ඉදිරි කටයුතු සලකා බැලීම සඳහා ජුලි මස 30 වනදා එය යළි කැඳවන ලෙස ද විනිසුරු මඩුල්ල නියම කළේය.

පැමිණිල්ල මෙහෙය වන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතාට එරෙහිව මෙම නඩුවේ විත්තිකරුවකු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර ඇති බවත් එම සාක්ෂිකරු දේශපාලන පළිගැනීම පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති බවත් පැවසීය.

මේ පිළිබඳව විවෘත අධිකරණයේ අදහස් දැක්වූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ධම්මික ගනේපොල මහතා, ජනාධිපති කොමිසම හමුවේ සිදුකරන කටයුතුතම අධිකරණයට කිසිසේත්ම අදාළ නොවන බව පැවසීය.

ජනාධිපති කොමිසම හමුවේ සිදුවන කාරණා සම්බන්ධයෙන් තම අධිකරණයට බැඳීමක් නොමැති බවත් එම සාක්ෂිකරු කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ පැමිණිල්ල විසින් බවත් සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top