Jul 02, 2020

Covid-19 වසර මතක් වෙන්න 'බලාපොරොත්තුවේ' කාසියක්

නව කොරෝනාවෛරස් වසංගතය ඇති වූ 2020 වර්ෂය සනිටුහන් කිරීම සහ වසංගතය පාලනය කිරීම සඳහා දැවැන්ත මෙහෙවරක් ඉටුකළ වෛද්‍යවරුන්, හෙදියන් සහ වෙනත් අයට උපහාර දැක්වීම සඳහා ලිතුවේනියානු මහබැංකුව විසින් නව කාසි කිහිපයක් නිකුත් කර තිබේ.

“බලාපොරොත්තුවේ කාසිය” ලෙස නම් කර ඇති මෙම කාසි වටා “අන්ධකාරයෙන් පසු, මම ආලෝකය බලාපොරොත්තු වෙමි” යන්න ලතින් බසින් සඳහන් කර තිබේ. 2020 යන ඉලක්කම් මත පතිත වන  ආලෝක කදම්බයක් මෙහි දැක්වෙන අතර, එම ආලෝක කදම්බය හමුවේ 2020 නම් ඉලක්කම් හි සෙවනැල්ල දිස් වන්නේ ජාත්‍යන්තර ආපදා සංඥාව වන SOS  ලෙසිනි.

මේ අයුරින් නිකුත් කර ඇති රිදී කාසියේ වටිනාකම යූරෝ 5ක් වන අතර, තඹ සහ නිකල් වලින් නිපදවූ කාසියේ අගය යූරෝ 1.5ක් වේ.

"වෛරසය පැතිරයාම වැළැක්වීමට කටයුතු කළ වෛද්‍යවරුන්ට, වෛද්‍ය සේවකයින්ට, පොදු ප්‍රවාහන රියදුරන්ට, දුර සිට සේවය කළ ගුරුවරුන්ට හා සාප්පු සේවකයින්ට මෙන්ම ස්වයං නිරෝධායනයේ නිරතවෙමින් වෛරසය පැතිරීම වළක්වා ගත් අයට ස්තූති කිරීමට අපට අවශ්‍ය වුනා," යැයි ලිතුවේනියාවේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනිය වන ඇස්ටා කුනියෝෂි පවසා තිබේ.

“කාසිය බලාපොරොත්තුවේ කාසියක් වන්නේ, එකට රැඳී සිටීමෙන් අපි ආලෝකයට ළඟා වනු ඇතැයි අප අඳුරුතම කාලයේදී පවා විශ්වාස කළ බැවින් යැයි,” ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top